Categories
Blog Article

The First Trimester

බබෙක් බණ්ඩියේ ඉන්න කාලේ පරිස්සම් කරන්නේ කොහොමද ?

Shares

මවක් වීම යනු ස්වභාවිකව සිදු වන ඉතාමත් සුන්දර සංසිද්ධියකි. කාන්තාවකට සිය ජීවිතය තුළ අත්දකින්නට ලැබෙන සංක්‍රාන්තික අවස්ථාවක් වශයෙන් මවු පදවිය ලැබීම දැක්විය  හැකි ය.

යම් කාන්තාවක් මවක් බවට පත් වීමට යන බව අඟවන පූර්ව ලක්ෂණ මොනවාද ?
  • ඔසප් චක්‍රය නැවතීම
  • කෑම පිළිබඳව පවතින් අරුචිය හෝ ඇතැම් ආහාර සඳහා පවතින දැඩි රුචිකත්වය ( ඇඹුල් )
  • මල බද්ධය
  • පියයුරුවල වෙනස්කම් ( ඇතැම් විට පියයුරු වේදනාකාරී වීම)
  • මානසික ව්‍යාකූල බවක් දැනීම
  • අධික මහන්සිය
  • උදෑසන පවතින ඔක්කාරය
  • හිසේ කැක්කුම
  • බඩේ අජීරණමය ස්වභාවයක් දැනීම
  • පපුවේ දැවිල්ලක් දැනීම
  • ශරීරයේ බර වැඩිවීම මේ අතර ප්‍රධාන වෙයි.
දරුවෙකු අපේක්ෂාවෙන් සිටින කාන්තාවකට ඉහත ලක්ෂණ පවතින්නේ නම් පිළිපැදිය යුතු උපදෙස් කිහිපයක් පවතියි. එනම්,
  • වෛද්‍යයවරයෙකු හමු වී ගර්භණී භාවය තහවුරු කර ගැනීම ( Ultrasound Test)
  • මවගේ සෞඛ්‍යය තත්වය පිළිබඳව පූර්ණ පරීක්ෂාවක් සිදු කිරීම
  • රුධිර පීඩනය පරීක්ෂා කිරීම
  • ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝග පිළිබඳව පරීක්ෂා කිරීම
  • පැප් පරීක්ෂාව ( Pap Test )
  • රක්තහීනතාවය පරීක්ෂා කිරීම
  • තයිරොයිඩ් පරීක්ෂාව
  • මූලිකවම ලබා ගත යුතු විටමින් සහ පෝෂණ කොටස් පිළිබඳව දැනුවත් වීම
  • ප්‍රසූතිය සිදු වන දිනය නිර්ණය කිරීම

මේ අනුව කාන්තාවක් ගර්භාණී බවට පත් වූ බව විද්‍යාත්මකව තහවුරු වූ පසුව එම ගර්භණී අවධිය ප්‍රධාන කොටස් තුනකට බෙදා වෙන් කිරීම මවකගේ අවබෝධයට වඩාත් වැදගත් වෙයි. කාන්තාවක් දරුවෙකු කුස තුළ පිළිසිඳගැනීමේ සිට බිහි කිරීම දක්වා සති 40 පමණ කාලයක් ගනියි. එය කොටස් තුනක් ඔස්සේ දැක්විය හැකිය. එනම්

  • පලමු ත්‍රෛමාසිකය – දින 1 සිට සති 12 දක්වා
  • දෙවන ත්‍රෛමාසිකය – සති 13 සිට සති 26 දක්වා
  • තුන්වන ත්‍රෛමාසිකය – සති 27 සිට සති 40 දක්වා
පලමු ත්‍රෛමාසිකය – දින 1 සිට සති 12 දක්වා

එනම් කාන්තාවකගේ ගර්භණී අවධියෙ මුල් සති 12 යි. මවු කුස එතරම් ඉදිරියට නෙරා ඒමක් නොතිබුණත් පලමු මාස තුන ( පලමු සති 12) වන විට කලලයේ අවයව බොහොමයක් සැදී අවසන් වී ඇත.

නමුත් එම කලලයට තමන්ගේම ප්‍රතිශක්තිකරණ පද්ධතියක් මෙම කාල සීමාව තුළ නොපවතියි.

මෙය කාන්තාවකගේ ශරීරය වෙනස් වන කාලයකි.

මුල් මාස තුන තුළ කලලයේ ක්‍රියාකාරීත්වය මොන වගේද?
  • මෙම කාල සිමාවේ දී කලලය අගල් තුනකින් පමණ දිගින් යුක්ත වේ
  • කලලයේ ලිංගික අවයවයන් වර්ධනය වීම ආරම්භ වෙයි
  • අට වන සතිය අවසානයේ දී අත් පා ඇඟිලි වර්ධනය වීමට පටන් ගනියි
  • හෘද ස්පන්ධනය වීමට පටන් ගනියි
  • මොළය, සුශුම්නාව වර්ධනය වීමට පටන් ගනියි
කලලයට සති 11ක් පිරීමෙන් අනතුරුව ඔබ NT පරීක්ෂාවක් සිදු කළ යුතු වන්නේ ඇයි?

 එනම් ශබ්ද තරංග පරීක්ෂාවකින් දරුවාගේ හිස, ගෙල ප්‍රදේශයේ පවතින ඝන කම මෙන් ම දරුවාට ඩවුන් සින්ඩ්‍රෝමය වැනි ලක්ෂණ හෝ ජානමය රෝග තිබේදැයි පරීක්ෂා කර ගත හැකි වීම හේතුවෙන් ය.

මෙම මුල් මාස තුන තුළ

  • මෘදු චීස්
  • සුෂි
  • මෘදු ලෙස සකස් කළ අයිස්ක්‍රීම්
  • මිදි – (රෙස්වෙටරෝල් – Resvetarol සංයෝගය ගර්භණී කාන්තාවකට විෂ විය හැකිය)
  • නොයිදුණු හෝ බාගෙට ඉදුණු පැපොල් ( ගස්ලබු) – ( එහි ඇති පැපේන් සහ කිරි බහුල ගතිය ගර්භාෂයට හානි කර වෙයි
  • අන්නාසි – ( අන්නාසිවල අඩංගු Bromelain සංයෝගය ගැබ් ගෙලට සුදුසු නොවෙයි)
  • නොසේදූ එළවලු සහ පළතුරු – ( පස්වල ඇති ටොක්සොප්ලාස්මා – Toxoplasma කොටස් ගර්භාෂයට හානි කරයි)

ආහාරයට ගැනීම නොකළ යුතුය. එබැවින් ගර්භණී වීමෙන් එළඹෙන මුල් මාස් තුන තුළ කලලය ගබ්සා වීමට පවත්නා ඉඩ කඩ ඔබගේ අනිසි හැසිරීම් සහ ආහාර රටාවන් මත තීරණය විය හැකිය.

මේ හේතුවෙන් ඔබ ගැබ් ගෙන ඇති බවට පවුලේ නෑදෑයන්ට කිව යුතු සුදුසුම වේලාව මුල් මාස තුන නොවන බව කිව යුතු ය.

එබැවින් ඔබ විසින් අවධානයට ලක් කළ යුතු මූලික කරුණු ලෙස
  • ආහාරයට ගන්නා කෑම බීම
  • ශරීරයේ බර නිවැරදිව පවත්වා ගැනීම
  • දරුවාගේ වර්ධනය
  • වෛද්‍යය උපදෙස් සහ වෛද්‍යය පරීක්ෂණ දැක්විය හැකිය
දෙවන ත්‍රෛමාසිකය – සති 13 සිට සති 26 දක්වා

වෛද්‍යය විද්‍යාව තුළ මෙය කාන්තාවකගේ ස්වර්ණමය අවධිය ( Golden Period ) ලෙස හඳුන්වයි. මෙම කාලය තුළ දී  

  • ඔක්කාරය අවම වීම
  • ඉල ඇටවල වේදනාව
  • කොන්දේ වේදනාව
  • උදර වේදනාව
  • කකුල් කැක්කුම්
  • මළ බදධය
  • බඩේ අජීරණය
  • මස්පිඬුවල වේදනාව

වැනි තත්වයන් මතු විය හැකිය

ගර්භණී කාන්තාවකට මෙම කාල සීමාව තුළ දී ඉල ඇටවල වේදනාවක් ඇති වන්නේ දරුවාගේ සිරුරේ මේදය තැම්පත් වීම වේගවත් වීම හේතුවෙන් ය. එසේම දරුවාගේ චලනය වීම් ඔබේ ඉල ඇට තෙරපීමට හේතුවක් වෙයි.

සති 16 ත් 20 අතර පවතින කාලය තුළ දී ගර්භාණී මවකට ඇගේ දරුවාගේ පලමු චලනය වීම් දැනෙන්නට පටන් ගනියි. එසේම බරක් දරා සිටීම හේතුවෙන් මස්පිඬුවල වේදනාවන් හට ගැනීමට පටන් ගනියි. එසේම

  • දරුවාගේ ස්නායු පද්ධතිය සංවර්ධනය වීමට පටන් ගැනීම
  • දරුවාට කටහඬවල් හඳුනා ගැනීමට ඇති හැකියාව
  • දරුවාගේ හුස්ම ගැනීමේ හැකියාව ක්‍රමවත් වීම
  • දරුවා සිය මහපටගිල්ල ඉරීමට පටන් ගැනීම
  • තමන්ගේ දෑත් එකතු කිරීමට උත්සාහ කිරීම
  • පාදවල ඇඟිලි අල්ලමින් සෙල්ලම් කිරීමට පටන් ගැනීම සිදු කරයි.

මෙම කාලසීමාව තුළ දී මවට ඉහත ලක්ෂණවල වෙනස්කම් දැනුණහොත් වෛද්‍යය උපදෙස් වෙත පිවිසිය යුතු ය

 

තුන්වන ත්‍රෛමාසිකය – සති 27 සිට සති 40 දක්වා

 මෙම කාල සීමාව දරුවා බිහි වීමට ආසන්නතම කාල සීමාවයි. ඔබට නිතර මුත්‍රා බර දැනීම, නින්ද මදිකම දැනෙන්නට පටන් ගනියි.

මෙම අවධිය තුළ සෑම කාන්තාවන් පස් දෙනෙකුගෙන් එක් අයෙකුටම ප්‍රසූතියට පෙර කාංසාව හෝ මානසික පීඩනය ඇති විය හැකිය. එසේම මෙම අවධියේදී

  • ඔබගේ දියවැඩියාව පරීක්ෂා කර ගැනීම
  • කක්කල් කැස්ස ( Pertussis) සඳහා එන්නත් කිරීම
  • ඉන්ෆ්ලුවන්සාව වලක්වන එන්නත් කිරීම
  • Streptococcal B එන්නත් කිරීම

සඳහා වෛද්‍යය උපදෙස් මත යොමු විය යුතු ය. මෙම අවධියේ කාන්තාවකට මතු විය හැකි අවධානම් ලක්ෂණ ලෙස,

  • යෝනි මාර්ගයෙන් රුධිරය වහනය වීම
  • දරුවාගේ චලනය වීම් අඩු වීම
  • ඔක්කාරය සහ වමනය ඇති වීම
  • ප්‍රසූත වේදනාවන් හදිසියේ මතු වීම
  • ගර්භාෂයේ තරලය එලියට වහනය විම ( Water Bag)
  • දැඩි හිසරදය
  • උදර වේදනාව
  • පෙනීමේ වෙනස්කම් මතු වීම

දැක්විය හැකිය. මෙවන් අවස්ථාවන් ඔබ නිරන්තරයෙන් අවබෝධයෙන් පසු විය යුතු අවස්ථාවන් වෙයි.

ගැබිණි මවකට ෆෝලික් අම්ලය සහ යකඩ පෙති හිතුමතේට ගන්න සුදුසු ද?

ෆෝලික් අම්ලය ශරීරයේ රුධිරය නිපදවීමට වැදගත් වන අතර රුධිරය අවම වීම හේතුවෙන් ඇතිවන රක්තහීනතාවය අවම වීමට හේතු වෙයි.

ෆෝලික් අම්ලය වෛද්‍යය උපදේශයකින් තොරව හිතුමතේට භාවිත කිරීම තුළින් දරුවාගේ ස්නායු පද්ධතිය දුර්වල වීමට හේතු වෙයි. එබැවින් ෆෝලික් අම්ලය නියමිත වෛද්‍යය උපදෙස් මත නිවැරදිව ගත යුතු ය.

එසේම දරුවා බිහි වීමට ආසන්න මාස තුනක කාලයේ සිට කිරි දෙන කාලයේ දී යකඩ අවශ්‍යතාවය මතු වන අතර නිරන්තරයෙන් වෛද්‍යය උපදෙස් පිළිපැදීමට කටයුතු            කිරීම මගින් අවධානම් තත්වයන් මගහරවා ගත හැකිය.

    
කළයුතු දේවල්
  • උදෑසන අවදි වූ සැණින් පෝෂණීය ආහාර වේලක් ගැනීම
  • නිවැරදි වෛද්‍යය උපදෙස් මත ව්‍යායාම සිදු කිරීම
  • නියමිත විටමින් වර්ග වෙලාවට ගැනීම
  • යෝනි මාර්ගය අවට සෞඛ්‍යය තත්වය පිළිබඳ විමසිල්ලෙන් සිටීම
  • ගමන් බිමන්වල යෙදීමට පෙර වෛද්‍යයවරයාගේ උපදෙස් ගැනීම
  • බෙහෙත් ගැනීමට හෝ නැවැත්වීමට පෙර වෛද්‍යයවරයාගේ උපදෙස් ගැනීම
  • නියමිත දින වන විට ඔබගේ එන්නත් කිරීම් වෛද්‍යය උපදෙස් මත සම්පූර්ණ කර ගැනීම
  • පෝෂ්‍යදායී එළවළු සහ පලතුරු ප්‍රමාණවත් තරමින් ආහාරයට ගැනීම
  • හැකිතාක් නිවසේ පිළියෙල කළ ආහාර ගන්න
  • ශරීරයට අවශ්‍යය නියමිත කැලරි ප්‍රමාණය ලබා ගැනීමට කටයුතු කිරීම
නොකළයුතු දේ
  • කැෆේන් අඩංගු කෝපි, මත්ද්‍රව්‍ය, මත්පැන්වලින් වැළකීම
  • සැමන්, සොසේජස් සහ පිසින ලද කල් තබාගත හැකි ආහාරවලින් වැලකීම
  • පැස්චරීකරණය නොකරන ලද කිරි භාවිතයෙන් වැලකීම
  • වෛද්‍යය උපදෙස්වලින් තොර ඖෂධ භාවිතයෙන් වැලකී සිටීම

දරුවා මෙන් ම මවගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කිරීමේදී ඔබට ගැටලු ඇති විය හැකි අවස්ථාවන් නිශ්චිත නැත. එවන් අවස්ථාවන්වල දී දවසේ පැය 24 පුරාවටම ඔබගේ ජංගම දුරකථනය හරහා ප්‍රසව හා නාරි වෛද්‍යයවරයෙකු සමග සම්බන්ධ වීමට oDoc ඇප් එක ඔස්සේ හැකියාව ඇත.

ඔබගේ, කාලය, ශ්‍රමය, සෞඛ්‍යය ආරක්ෂාව රැක ගැනීම අපගේ අරමුණයි.

ODoc , ඔබ සමග නිරන්තරයෙන්…

ආශ්‍රිත කියවීම්

  1. What to Expect: Your Personal Pregnancy Chart, Rena Goldman, December 08,20,www.healthline.com
  2. A Week – by – week, Pregnancy Calendar, Kidshealth.org
  3. දෙවන ත්‍රෛමාසිකය,සාරංගි රන්පටබැඳි, lk
  4. ගර්භණී සමයේ ආරක්ෂිත හා අනාරක්ෂිත පළතුරු ගැන දැනගමු ද? Nadeesha Lakmini, The Asianparent.lk
  5. ගර්භණී මවක් වහාම රෝහල්ගත විය යුතු අවධානම් සහගත අවස්ථා 7 ක්, සුව සෙවන, වෛද්‍යය නාලක ප්‍රියන්ත
  6. Third Trimester, Pregnancybirth&baby,www.ucsfhealth.org, University of California
  7. ගර්භණී කාන්තාවන් වැඩුපුර ආහාරයට එකතු කර ගත යුතු දෑ, June29,2016, good housekeeping, www.goodhousekeeping.lk
  8. ගර්භණී අවධියේ පලමු මාස තුන, June 09,2021, Lifesmile, lifesmile.lk
Shares

Similar Articles...

Endometriosis

Endometriosis No woman looks forward to “that time of the month.” Dealing with nausea, stomach cramps, mood swings, back pains and fatigue, all whilst facing

Read More »

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Categories
Blog Article

පුංචි දුවගේ ඔසප් දවස

පුංචි දුවගේ ඔසප් දවස

Shares

ලාංකික සමාජය තුළ මල්වර වීම නැතහොත් වැඩි වියට පැමිණීම ඉතා උත්සවාකාරයෙන් සමරයි. එසේ වුවත් දෙමාපියන් විසින් මිත්‍යාවන් මත පදනම්ව දරුවන්ට වැරදි උපදෙස් ලබා දෙන අතර දරුවාගේ ඔසප් වීම පිළිබඳ යථාර්ථය අවබෝධ කිරීමක් සිදු කරන්නේ නැත.

සැබැවින්ම ඔසප් වීම යනු කුමක්ද?

( ඔසප් වීම සම්බන්ධ විද්‍යාත්මක තොරතුරු පිළිබඳ නැවත කියවීමට ඔබ උනන්දුවක් නොමැති නම් දෙවන කරුණ වෙත පිවිසෙන්න)

ඔසප් වීමක් කාන්තාවකට සිදු වීම ආරම්භ වන්නේ ශරීරයේ සිදු වන හෝර්මෝන වෙනස් වීම මත ය. සරලවම කාන්තාවකගේ ශරීරයේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටෙරෝන් හෝර්මෝන ක්‍රියා කාරීත්වයේ ආරම්භය ඔසප් වීම හරහා සිදු වන අතර එම හොර්මෝන මගින් ගර්භාෂයේ ශ්ලේශ්මල පටලය ගොඩ නැගීමට හේතු වෙයි. කුස තුළ වර්ධනය වීමට බීජයක් ( කලලයක්) නොමැති කම නිසා ගර්භාෂයේ ශ්ලේශ්මල පටලය කැඩීම නැතහොත් ගර්භාෂයේ බිත්ති බිඳී ලේ ගැලීම සිදු වෙයි. එම ක්‍රියාවලිය නැවත නැවතත් සිදු වීම මාසික ඔසප් වීම ලෙස හඳුන්වයි. එහි අරමුණ නම්, ස්ත්‍රීයකට දරුවෙකු දරාගෙන සිටීමට ගර්භාෂය සකස් කිරීමයි.

එසේම ගර්භාෂයේ ශ්ලේශ්මල පටලය ගොඩ නගන්නට හේතු වන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටෙරෝන් හෝර්මෝන ඩිම්බකෝෂයකින් බිත්තරයක් පිට කිරීමට ද හේතු වෙයි. එනම් ඩිම්බකෝෂයකින් පිට කරන බිත්තරයක් පැලෝපීය නාලය ලෙස හඳුන්වන තුනී නලයක් හරහා ගර්භාෂය වෙත ගමන් කරයි.

එම බිත්තරය ශුක්‍රාණු සෛලයක් සමග සංසේචනය වී ඇත්නම් එය ගර්භාෂයේ බිත්තියට සම්බන්ධ වන අතර කාලයත් සමග එය ළදරුවෙක් බවට පත් වෙයි.

එසේම එම බිත්තරය සංසේචනය නොකළහොත් ගර්භාෂයේ ශ්ලේශ්මල පටලය කැඩී රුධිරය ගැලීම සිදු වන අතර එය ඔසප් වීම ලෙස හඳුන්වයි.

එබැවින් ඔසප් කාලය කාන්තාවකට ස්වර්ණමය කාලයකි. කාන්තාවකගේ සරු භාවය, නිරෝගී භාවය තීරණය කළ හැකි සලකුණක් වන්නේ ඔසප් චක්‍රයයි. එබැවින්  ඔසප් වීම යනු සෞභාග්‍යයේ සංකේතයකි.

 ගැහැණු දරුවෙක් වැඩිවියට පැමිණෙන්නේ කුමන වයස් සීමාවක දී ද?

 බොහෝ ගැහැණු දරුවන් වයස අවුරුදු 12 පමණ වන විට වැඩි වියට පැමිණුනත් ඇතැම් විට වයස අවුරුදු 8 ත් 14 ත් අතර වයස්වල දරුවන් වැඩි වියට පැමිණීම සිදු වෙයි. නමුත් එය  දරුවන්ගෙන් දරුවන්ට වෙනස් වන අතර ආවේණික ශරීර ක්‍රියාවලියක් පවතියි

ඔසප් වීම ආරම්භ වූ පසු ජීවිත කාලයේම නොනවත්වා පවතිනවාද?

 නැත. සාමාන්‍යයයෙන් ගැහැණු දරුවෙකු ගේ ඔසප් වීම ආරම්භ වී පලමු වසර කිහිපය තුළ එහි යම් අක්‍රමවත් බවක් දැකිය හැකිය. එනම් ඔසප් වීම නොකඩවා සිදු නොවීමයි. නමුත් පලමු ඔසප් වීමෙන් පසු වසර 2 – 3 පමණ යන විට ගැහැණු ළමයෙකුගේ ඔසප් වීම සති 4 – 5 වරක් සිදු වෙයි.

එසේම ඔසප් වීම සාමාන්‍යයයෙන් දින 5 ක් පමණ පවතින අතර ඇතැම් විට එම කාල සීමාව දිගු විය හැකිය.

ඔසප් වීම කොපමණ කාලයකට වරක් සිදු වෙයි ද?

 එය සාමාන්‍යයයෙන් සති 4 – 5 වරක් සිදු වුවත් ඇතැම් ගැහැණු දරුවන්ට මෙම තත්වය වැඩි – අඩු විය හැකිය.

දරුවෙක්ට කොපමණ ප්‍රමාණයක් රුධිරය පිට වෙයි ද?

රුධිරය පිටවීමේ ක්‍රියාවලිය දරුවාගෙන් දරුවාට වෙනස් වෙයි. කෙසේ වුව ද ඔසප් වන කාල සීමාව තුළ දරුවෙකු සිය පුද්ගලික පිරිසිදු භාවය පිළිබඳව සැලකිලිමත් විය යුතු ය. රුධිරය පිට වන ප්‍රමාණය මත දිනකට 3 -6 වතාවක් සිය සනීපාරක්ෂක තුවා මාරු කිරීමට කටයුතු කළ යුතු ය.

දරුවෙකු වැඩි වියට පත් වීමට ආසන්න වන විට් ශරීරයේ සිදු වන වෙනස්කම් මොනවාද ?

  • ශරීරය උසින් සහ බරින් වැඩිවීම
  • මුහුණේ කුරුලෑ ඇතිවීම
  • කිහිලි සහ ලිංගේන්ද්‍රය අවට රෝම වර්ධනය වීම
  • යෝනි ශ්‍රාව ඇතිවීම
  • පියයුරු වර්ධනය විශාල වීම
  • උකුළ පළල් වීම
  • කලවා මහත් වීම

 වැඩිවියට පැමිණි දරුවෙකුගේ ශරීර සෞඛ්‍යය පිළිබඳව දෙමාපියන් සැලකිලිමත් විය යුත්තේ කෙසේද ?

  • දරුවාට සමබර ආහාර වේලක් ලබා දිය යුතු ය

එනම්, ප්‍රෝටීන්, විටමින්, කැල්සියම් යනාදී විටමින් අඩංගු ආහාර වේලක් මෙන්ම විටමින් සී බහුල පලතුරු ආහාරයට එකතු කරගත යුතු ය. එසේම ,

  • හිරු එළිය මගින් ලැබෙන විටමින් D ප්‍රමාණය
  • වේලාවට නින්දට යාම
  • ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමට කටයුතු කිරීම
  • ව්‍යායාමවල නිරත වීමට කටයුතු කිරීම කළ යුතු ය.

 දියණියක් මල්වර වීම සමග ඇය තුළ සිදු වන හෝමෝන වෙනස්කම්

වැඩිවියට පත් වීමට ආසන්න වන දරුවෙකු ගේ ශරීරය වෙනස් වීමට පටන් ගනියි. එම ක්‍රියාවලියට හේතු කාරක වන්නේ ශරීරයේ සිදු වන හෝමෝන ක්‍රියාවලිය වන අතර ඇතැම් විට එම තත්වය නිසා දරුවෙකු ලජ්ජාවට පවා ලක් විය හැකිය.

එසේම මෙම හෝමෝන බලපෑම් දරුවාගේ හැසිරීම්, සිතුම් පැතුම් පවා වෙනස් කළ හැකිය. එනම්,

  • දෙමාපියන් නුරුස්නා ස්වභාවය
  • ඉක්මණින් කේන්ති ගැනීම
  • ඉක්මණින් දුකට පත් වීම

 වැනි තත්වයන් ඇති විය හැකි අතර එබඳු අවස්ථාවක එම දරුවා පිළිබඳව පහත් කොට කතා කිරීමෙන් වැළකී සිටිය යුතු ය. ඇතැම් විට එම තත්වය පූර්ව ඔසප් සින්ඩ්‍රෝමය ( Premenstrual Syndrome ) ලක්ෂණයක් විය හැකිය. එනම්

  • මනෝභාවයන් වෙනස් වීම
  • ණස්සල්ල/ කෝපය
  • තෙහෙට්ටුව හෝ නිදා ගැනීමේ අපහසුතා
  • බඩ පිපුම හෝ බඩේ වේදනාව
  • පියයුරු මෘදු මොලොක් වීම
  • හිසරදය
  • හිසකෙස් තෙල් සහිත ස්වභාවයක් ගැනීම
  • ආහාර රුචිය වෙනස් වීම

මෙබඳු තත්වයක් බොහෝ අවස්ථාවන්හි දී ඔසප් වීමෙන් දින දෙක තුනකට පසුව පහව යන නමුත් එමගින් දෛනික කාර්යයන්ට බලපෑම් ඇති කරනවා නම් ඒ සඳහා නියමිත වෛද්‍යය ප්‍රතිකාර වෙත යොමු විය යුතු ය.

ඔසප් වීමත් සමග දියණියට අවබෝධ කළයුතු විශේෂ කරුණු

  • දරුවාට ඔසප් වීම පිළිබඳව අවබොධයක් ලබා දීම

දෙමාපියන් වශයෙන් පලමුවෙන්ම සිය දරුවන් සමග මිත්‍රශීලී සබඳතාවක් පවත්වාගෙන යා යුතු ය. එනම් ඔබේ ආධිපත්‍යයයට යටත් කර ගනිමින් දරුවා සිර කිරීමට ලක් නොකළ යුතු ය. දෙමාපියන් දරුවන්ට සමීප නොවුණු විට ඔවුන් යහළුවන්ට සමීප වන්නේ එබැවින් ය.

දරුවෙකු වැඩිවියට පත් වීමට ආසන්න වන විට එම දරුවාට ඔසප් වීම සහ ඔසප් චක්‍රය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා දිය යුතු ය.

ඇතැම් විට ඔවුන් නොදැනුවත්ව සිදු වන රුධිර  වහනය දරුවෙකු බියට පත් වීමට පවා හේතු විය හැකිය.

  • මාසික ඔසප් වීම සඳහා සූදානම් වීමට අවශ්යය කලමනා කට්ටලයක් සකස් කර දීම

 එනම්, දරුවෙකුට ඔසප් වීම සඳහා වැදගත් වන

  • අමතර සනීපාරක්ෂක තුවා කිහිපයක්
  • වැඩිපුර යට ඇඳුම්
  • සනීපාරක්ෂක තුවා ඉවත දැමීමට අවශ්‍යය කොළ කැබලි කිහිපයක්
  • වැඩිපුර ඇඳුමක් වැනි දේවල් වේ.

 එසේම පාසලේ හෝ පොදු ස්ථානයක දී ඔසප් වීම සිදු වුවහොත් එය ක්‍රමානුකූලව බැහැර කරන ආකාරය පිළිබඳව දරුවාට අවශ්‍යය දැනුම ලබා දිය යුතු ය.

දරුවෙකු වැඩි වියට පැමිණි හේතුවෙන් එම දරුවාව ඔබේ උණුසුමෙන් ඈත් නොකරන්න. සිය පියා මෙන් ම පිරිමි සහෝදරයන් සමග නිදහසේ දුව පැන ඇවිද සෙල්ලම් කිරීමට ඉඩ දෙන්න.  

ගැහැණු දරුවෙකු ඔසප් වීම ආරම්භ  වූ වහාම ගැබ් ගත හැකි ද?

  ඔවු. ගැහැණු දරුවෙකුට ඔසප් වීම ආරම්භ වූ වහාම ගැබ් ගත හැකිය. එයට හේතු වන්නේ ගැහැණු දරුවාගේ ශරීරයේ හෝමෝන දැනටමත් ක්‍රියාකාරීව පැවතීමයි. එම හෝමෝන සහ ඩිම්බ මෝචනය ගර්භාෂයේ බිත්ති ගොඩ නැගීමට හේතු වෙයි

ඔසප් වීම හේතුවෙන් ඇතිවන ශරීරයේ වේදනාවන් සාමාන්‍යයයි ද?

 සාමාන්‍යයයෙන් උදර වේදනාව , කොන්දේ වේදනාව ඇතිවීම ඔසප් වීමේදී ඇතිවන සාමාන්‍යය තත්වයකි. නමුත් යම් දරුවෙකුට එය අසාමාන්‍ය අන්දමේ වේදනාකාරී ස්වභාවයක් ගන්නේ නම් එය වෛද්‍යය ප්‍රතිකාර කෙරෙහි යොමු විය යුතු තත්වයකි.

ඔසප් වීම සම්බන්ධයෙන්  මතු විය හැකි ගැටලු මොනවාද ?

  • වයස අවුරුදු 15 න් අනතුරුවත් ඔසප් වීම සිදු නොවීම
  • ඔසප් චක්‍රය අක්‍රමවත් වීම
  • මාසයකට වාර කිහිපයක් ඔසප් වීම
  • ප්‍රමාණය ඉක්මවා සිදු වන රුධිර වහනය
  • සතියක් ඉක්මවා අධික ලෙස රුධිර වහනය ( ඔසප්) වීම
  • පූර්ව ඔසප් සින්ඩ්‍රෝමය ( PMS) මගින් එදිනෙදා කටයුතුවලට බාධා මතු වීම

 ඉතින් මෙබඳු අවස්ථාවක ලෝකයේ ඕනෑම තැනක සිට, පැය 24 පුරාවට oDoc ඇප් එක හරහා ප්‍රසව හා නාරි වෛද්‍යයවරයෙකු සමග සම්බන්ධ විය හැකිය.

ආශ්‍රිත කියවීම්

  • දියණියගේ මල්වරවීම ගැන ඇය දැනුවත් කර තබන්නේ මෙහෙමයි, theAsianparent, lk.theasianparent.com, Niloufer Perera
  • මල්වර දිනය මංගල්‍යයක් නොකරගෙන එහි අරුත පුංචි දියනියට කියා දෙන්න, theAsianparent, lk.theasianparent.com, Nisansala Liyanage
  • මල්වර වෙන වියේ වර්ධනය: මල්වර වෙන වියේ ඉන්න දියණියගේ වර්ධනය , theAsianparent, lk.theasianparent.com, Nadeesha Lakmini
  • දියණියන් සිටින අම්මලාට , ආරෝග්‍යය, archives. dinamina.lk, Dr.Thilak Dissanayake, Dinamina
Shares

Similar Articles...

Endometriosis

Endometriosis No woman looks forward to “that time of the month.” Dealing with nausea, stomach cramps, mood swings, back pains and fatigue, all whilst facing

Read More »

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Categories
Blog Article

ගර්භණී මවක් අනුගමනය කළ යුතු උපත් සැලසුම් මොනවාද ?

ගර්භණී මවක් අනුගමනය කළ යුතු උපත් සැලසුම් මොනවාද ?

Shares

දරුවෙකු බිහි කිරීමට සැලසුමක් කියූ විට යමෙක්ට මුවගට සිනහවක් පැමිණිය හැකි ය. මන්ද දරුවෙකු බිහි කිරීම කොහේ හෝ රෝහලක සිදු වීම පමණක් ප්‍රමාණවත් යැයි අප දරණ මතය හේතුවෙන් ය. නමුත් නව ජීවියෙකු ලෝකයට බිහි කිරීම යන කාරණාවේ දී මව සහ දරුවා යන දෙදෙනාම සමාන වැදගත්කමින් යුක්ත ය. නවීන ලෝකය තුළ දරුවෙකු බිහි කිරීම සම්බන්ධයෙන් ඉතා විශාල වෙනස්කම් ‍රාශියක් පහසුව පිණිස යෙදී ඇති අතර දරුවෙකු බිහි කිරීම සම්බන්ධයෙන් මවගේ අදහස් ද නූතනය වන විට වඩා වැදගත් කොට සලකයි.

මොකක්ද මේ උපත් සැලසුමක් කියන්නේ??

සරලවම උපත් සැලසුමක් කියන්නේ දරු ප්‍රසූතිය සිදු විය යුතු ආකාරය මෙන් ම දරු ප්‍රසූතියෙන් පසුව සිදු වන සිදුවීම්  පිළිබඳව ඔබේ කැමැත්ත මත සදන දළ වාර්තාවකි.

උපත් සැලසුමක් අවශ්යය වන්නේ ඇයි ??

ගර්භණී සමයේ හෝ දරු ප්‍රසූතියේදී හෝ දරුවා බිහි වූ පසුව සිදු විය හැකි අනපේක්ෂිත සිදුවීම් වලක්වා ගැනීම සඳහා උපත් සැලසුමක් වැදගත් වෙයි. එසේම,

  • තමන්ගේ පුද්ගලික රුචිකත්වය මත ප්‍රසූතිය සිදු වන ආකාරය තෝරා ගැනීමට
  • ලෙඩ රෝගවලින් පීඩා විඳින මවක් නම් ඇයට තම රෝගී තත්වය නිර්ණය කරමින් අවශ්‍යය උපදෙස් වෛද්‍යයවරයා මගින් ලබා ගැනීමට හැකිවීම.
  • ප්‍රසූතියේ දී මතු වන වේදනාවන් අවම කර ගැනීමට

යනාදී හේතු මත පදනම්වයි.

උපත් සැලැස්මක් නිර්මාණය කිරීමේදී බොහෝ කාන්තාවන් සලකා බලන විශේෂ කරුණු වශයෙන්,
  • ප්‍රසූතිය සිදු කරන ස්ථානය
  • ප්‍රසූතිය අවස්ථාවේ වේදනාව අවම කර ගැනීමට භාවිතා කරන ඖෂධ
  • ඔබ දරු ප්‍රසූතිය සිදු කරන ආකාරය
  • දරු ප්‍රසූතිය දී ඔබට සහය විය යුතු ආකාර

දැක්විය හැකිය.

උපත් සැලසුමක් අවශ්යය වන්නේ කුමන කාන්තාවන්ට ?
  • ඉතා කාර්යය බහුල ජීවිතයක් ගෙවන ගැබිණි කාන්තාවකට
  • දරුවන් වැඩි ප්‍රමාණයක් බිහි කළ කාන්තාවකට නැවත ගැබ් ගැනීම වලක්වා ගැනීමට
  • වසර ගණනාවකට පසු අනපේක්ෂිත ගැබ් ගැනීමක් සිදු වූ කාන්තාවන්ට
  • තමන්ගේ ශරීර සුවතාවය පිළිබඳව විශේෂයෙන් අවධානය යොමු කරන කාන්තාවන්ට
  • ප්‍රසූතිය සඳහා සූදානම් වන කාන්තාව වයසින් වැඩි අයෙකු වීම
  • ගර්භණී මව නොයෙකුත් රෝගාබාධයන්ට මුහුණ දී සිටින අයෙක් වීම

යනාදී තත්වයන් තුළ සිටින කාන්තාවන්ට උපත් සැලසුමක් බෙහෙවින් ප්‍රයෝජනවත් වෙයි

උපත් සැලසුමක් සැකසීමේ දි ඇතුළත් කළ හැකි අවශේෂ කරුණු වශයෙන්,

 ප්‍රසූතිය අවස්ථාවේදී

  • ලැබිය යුතු ආලෝක තත්වය
  • දරුවා බිහි කරන අවස්ථාවේදී ඔබ සමීපයෙන් සිටිය යුතු අය
  • සාමාන්‍යය දරු උපතක්, සිසේරියන් දරු උපතක් හෝ ජල තටාකයක් හෝ වෙන යම් ක්‍රමයක් ඇසුරු කරගෙන දරුවා බිහි කරනවා ද යන බව
  • ප්‍රසූත වේදනාව පහ කර ගැනීමට වේදනා නාශක භාවිත කරනවා ද නැද්ද යන බව

දරුවා බිහි වූ පසුව,

  • මවු කිරි ලබා දියයුතු නියමිත වේලාව
  • අවශ්‍යය කරන විටමින් සහ එන්නත් වර්ග ( විටමින් K , හෙපටයිටිස් B)
  • දරුවා බිහි වූ පසුව මවගේ ආසන්නයේ කුමන තැනක සිටිය යුතුද යන බව
  • මවගේ පපුව මත දරුවා සමීප කළ යුතු වේලාව

දැක්විය හැකිය.

මෙම සියලු දේවල් ඔබ විසින් කලින්ම වෛද්‍යයවරයා සමග සාකච්ඡා කිරීමෙන් අනතුරුව, වෛද්‍යය උපදේශ මත සකසා ගත යුතු සැලසුම් වෙයි. මන්ද,

ගර්භණී කාන්තාවකගේ ශරීරය නිරන්තර සංකූලතාවන්ට ලක් වන බැවින් මේ සියලු දේවල් ඔබ පූර්ව සූදානම් කිරීමේදී වෛද්‍යය උපදෙස් මත සිදු කිරීම අත්‍යාවශ්‍යය බව නැවත වරක් සඳහන් කරන්නේ එබැවින් ය.

උපත් සැලසුම් සකසා ගැනීම පිළිබඳ පූර්ව අවබෝධයක් ලබා දීමට මෙතැන් සිට දරු උපත් ක්‍රම පිළිබඳව කතා කරමු.

 

සාමාන්‍යය දරු උපත්

ඔබ ඔබේ දරුවා ස්වභාවිකව ප්‍රසූත කිරීමට අදහස් කරනවා නම් මෙම උපත් සැලසුම් මගින් ප්‍රසූතියේ දී ඇති වන වේදනාව සමග සාර්ථකව කටයුතු කිරීමට වඩා හොඳින් හැකිවනු ඇත.

දරුවා බිහි කිරීමට මෙය පූර්ව සූදානමක් වන අතර තමන්ගේ වෛද්‍යයවරයා සමග කතා කිරීම මගින් හුස්ම ගැනීම, ශරීරය ලිහිල් කිරීම වැනි ව්‍යායාම පුහුණුවීම් පවා සිදු විය හැකිය.

සිසේරියන් සැත්කම

බොහෝ අවස්ථාවන්වල ප්‍රසූතිය දී දී අමතර වෙහෙසක් දැරීමට සිදු වීම හේතුවෙන් අධි රුධිර පීඩනය වැනි රෝග පවතින මවුවරු අවධානම් තත්වයට ලක් වෙයි. එවිට සිසේරියන් සැත්කම් මගින් දරුවන් බිහි කිරීම බොහෝ විට සිදු කරන අතර නියමිත වෛද්‍යය නිර්දේශය මත ක්‍රියාත්මක විය යුතු ය

 ගෑස් සහ වාතය ප්‍රසූතිය අවස්ථාවේ භාවිත කිරීම

මෙම ගෑස් සහ වාතය වේදනාව ඉවත් කිරීමට භාවිත කරන ක්‍රමයකි.එනම් ප්‍රසූතියේ දී ඇති වන වේදනාව දරා ගත හැකි මට්ටමකට පත් කරයි. නමුත් එයට අවශ්‍යය උපකරණ පහසුකම් රෝහලේ තිබිය යුතුය.

දරු ප්‍රසූතිය දී පෙතිඩීන් එන්නත් කිරීම

වේදනාව සමනය කිරීමට පෙතිඩීන් නම් ඖෂධයක් ඔබගේ කලවා සහ තට්ටම් ප්‍රදේශයට එන්නත් කිරීම සිදු කරයි. එන්නත් කිරීමෙන් පසු ක්‍රියා කිරීමට විනාඩි 20 ක් පමණ කාලයක් ගත වෙයි.

රෙමිෆෙන්ටැනිල්

මෙය අතේ නහරයක් සමග සම්බන්ධව ක්‍රියා කරයි. එහි ක්‍රියාවලිය වේගවත් වන අතර මිනිත්තු කිහිපයකින් ක්‍රියා විරහිත වන ආකාරයට පවතියි. එය දරුවා ඉපදෙනතුරු ඔබට භාවිත කළ හැකිය.

එපිඩුරල් 

එපිඩුරල් යනු දේශීය නිර්වින්දන වර්ගයකි. එය උපත් ඇලේ සිට මොළය දක්වා වේදනාව පැතිරෙන ස්නායු සාමාන්‍යය කිරීම සිදු කරයි. නමුත් බොහෝ අවස්ථාවන්වල දී එපිඩුරල් මගින් පූර්ණ සහනයක් ලබා දෙයි. එමගින් ඔබේ දරු ප්‍රසූතියේ දී ඇතිවන වේදනාව සමනය කිරීමට උපකාර කරයි.

මෙම ඖෂධය නිර්වින්දන වෛද්‍යවරයෙකු හරහා ලබා ගත යුතු අතර ප්‍රමාණවත් පහසුකම් තිබීම ද අනිවාර්යය වෙයි. එබැවින් එපිඩුරල් සම්බන්ධයෙන් වෛද්‍යයවරයාගේ අදහස් විමසා බැලිය යුතුය

දරු ප්‍රසූතිය දී ජල තටාක භාවිතය ( ජල උපත් )

මෙම ජල තටාක මගින් ප්‍රසූතියේ දී ශරීරය ලිහිල් කිරීම පහසු කරයි. නමුත් ඔබට එයට සුදුසු ආකාරයේ උපත් තටාකයක් තිබිය යුතුය. එසේම ජලය ද සුවපහසු උෂ්ණත්වයක පැවතිය යුතු ය. එබැවින් ජල තටාක තුළ සිදු කරන උපත් අනුමත වෛද්‍යය නිර්දේශයන් මත සිදු කළ යුතු ය.

TENS යන්ත් භාවිතය

මෙය විද්‍යුත් ස්නායු උත්තේජන ක්‍රමයකි. ඒ සදහා ඔබ ප්‍රසූතිය සඳහා තෝරා ගන්නා ස්ථානයේ TENS යන්ත්‍රයක් තිබිය යුතුම ය. එසේම එය නිවැරදි වෛද්‍යය උපදෙස් අනුව ක්‍රියාත්මක කළ යුතු ය.

ප්රසව වේදනාව නැති කර ගැනීමට භාවිත කරන විකල්ප ක්රම මොනවාද ?

ප්‍රමාණවත් විද්‍යාත්මක සාක්ෂි නොමැති වුවත් කටු චිකිත්සාව, ඇරෝමා තෙරපි, සම්බාහන ක්‍රම භාවිත කරයි. නමුත් එහි සත්‍යයබව 100% ක් තහවුරු කිරීම අපහසුය.

ඔබ ඔබගේ උපත් සැලසුම් සඳහා ඉහත ක්‍රම අනුගමනය කිරීමට බලාපොරොත්තු වනවා නම් නියමිත ප්‍රසව හා නාරි වෛද්‍යයවරයෙකු සමග සාකච්ඡා කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු ය. මෙම සියලු ප්‍රසූත ක්‍රම භාවිත වන්නේ එක් එක් මවුවරුන්ගේ ශරීර සෞඛ්‍යයන්ගේ නිරෝගී භාවය මත පදනම්වයි.

ඔබ ඔබගේ උපත් සැලසුම් සඳහා ඉහත ක්‍රම අනුගමනය කිරීමට බලාපොරොත්තු වනවා නම් නියමිත ප්‍රසව හා නාරි වෛද්‍යයවරයෙකු සමග සාකච්ඡා කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතු ය. මෙම සියලු ප්‍රසූත ක්‍රම භාවිත වන්නේ එක් එක් මවුවරුන්ගේ ශරීර සෞඛ්‍යයන්ගේ නිරෝගී භාවය මත පදනම්වයි.

එසේම ඔබට හෝ ඔබේ ඉපදීමට සිටින දරුවාට සංකූලතා මතු වුවහොත් හෝ පහසුකම්වල ගැටලු මතු වූයේ නම් අවස්ථානුකූලව ඔබේ උපත් සැලසුම වෙනස් කරගැනීමට තරම් ඔබ නම්‍යශීලී විය යුතු ය.

එබැවින් ඔබගේ උපත් සැලසුම් සහ ආශ්රිත සියලුම ගැටලු සඳහා oDoc ඇප් එක හරහා පැය විසිහතර පුරා ලෝකයේ ඕනෑම තැනක සිට ප්රසව සහ නාරි වෛද්‍යයවරයෙකු සමග කතා කරන්න.

Souces

  • Birth and emergency preparedness in antenatal care, Standards for Material and Neonatal Care, WHO, www.who.int
  • Pain relief in labour, www.nhs.uk
  • Forget a birth plan – this time around I’m making a postnatal plan, www.kidspot.com.au
  • How to Create a Birth Plan, www.webmd.com
Shares

Similar Articles...

Endometriosis

Endometriosis No woman looks forward to “that time of the month.” Dealing with nausea, stomach cramps, mood swings, back pains and fatigue, all whilst facing

Read More »

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Categories
Blog Article

අනාරක්ෂිත ලිංගික සබඳතා මගින් බෝ වන රෝග ලක්ෂණ

අනාරක්ෂිත ලිංගික සබඳතා මගින් බෝ වන රෝග ලක්ෂණ

Shares

ලිංගිකව සම්ප්‍රේෂණයවන ආසාදනයන් (Sexual Transmitted Infection ) හි ප්‍රතිඵලය වන්නේ ලිංගිකව සම්ප්‍රේෂණයවන ‍රෝගයන්ට( Sexual Transmited Diseases ) මුහුණ දීමට සිදු වීමයි.

ලෝකයේ පවතින ලිංගිකව බෝ වන රෝග අතරින් ඉතා බහුල තත්වයන් ලෙස,

  • ක්ලැමීඩියා – ( Chlamydia )
  • මානව පැපිලෝමා වෛරසය – HPV
  • උපදංශය – Syphilis
  • මානව ප්‍රතිශක්තිකරණ ඌණතා වෛරසය – HIV
  • ගොනෝරියා නොහොත් සුදු බිංදුම – Gonorrhoea
  • ලිංගික උකුණන් – Public Lice
  • ට්‍රයිකොමෝනියාසිස් – Trichomoniasis
  • හර්පීස් – Genital Herpes
  • ලිංගික ඉන්නන් – Genital Warts

     දැක්විය හැකිය

ක්ලැමීඩියා – Chlamydia

 ක්ලැමීඩියා ආසාදිතයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට එය අසාදනය වන්නේ ශිෂ්ණය, යෝනිමාර්ගය, මුඛය හෝ ගුදය සම්බන්ධ කරගෙන සිදු කරන ලිංගික සබඳතා මතයි.

මේ අනුව මෙම රෝගය ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුව වන්නේ අනාරක්ෂිත ලිංගික සබඳතායි. මෙයට අමතරව

  • කොන්ඩම් නොකඩවා භාවිත නොකිරීම
  • එක් ලිංගික සහකරුවෙකුගෙන් තවත් ලිංගික සහකරුවන් විශාල ප්‍රමාණයකට මාරු වීම  වැනි හේතු මතයි

ක්ලැමීඩියා ‍රෝගයේ පවතින අවධානම් තත්වය නම්, රෝගය මූලිකවම හඳුනාගෙන කඩිනම් ප්‍රතිකාර නොකළහොත් එවන් රෝගියෙකුට පහසුවෙන් HIV ( මානව ප්‍රතිශක්තිකරණ ඌණතා වෛරසය ) වැළඳීමේ අවධානම පවා ඇති කිරීමයි.

  • මුත්‍රා කිරීමේ දී දැවිල්ල ඇති වීම
  • දුර්ගන්ධයෙන් යුතු ශ්‍රාවයන් මුත්‍රා මාර්ගයෙන් පිට වීම
  • අසාමාන්‍යය තුවාල හෝ කැසීම
  • අසාදිත ලිංගික ප්‍රදේශය ඉදිමීම

මෙහි මූලික ලක්ෂණ ලෙස හැඳින්විය හැකිය.

 

සිෆිලිස් – උපදංශය – Syphilis

මෙම උපදංශය නමැති රෝගය ස්පිරොචෙට් ( Spirochaete) නමැති බැක්ටීරියා විශේෂය මගින් ඇති වෙයි. මෙම රෝගී තත්වය ලිංගික සබඳතා හැරුණු කොට,

  • රුධිර පාරවිලයනය හරහා ( පිටතින් රුධිරය ලබා ගැනීම)
  • දරු ප්‍රසූතියේ දී මවගෙන් දරුවාට බෝ වීම

පදනම් කරගෙන ඇති විය හැකිය.

උපදංශය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.

  • පෙර උපදංශමය තත්වය – Early Syphilis
  • පසු උපදංශමය තත්වය – Late Syphilis

මෙහිදී පසු උපදංශමය තත්වය යනු විදුරුමස්, ස්නායු සහ හෘද වාහිනී මගින් දක්වන තත්වයකි. මෙම උපදංශය නැමැති රෝගයේ සුවිශේෂ ලක්ෂණය නම් දුර්වල මෙන්ම ඉතා අඩු සනීපාරක්ෂක තත්වයක් යටතේ ජීවත් වන ප්‍රජාවන් තුළ ලිංගික නොවන සබඳතා මගින් ද සම්ප්‍රේෂණය වීමයි.  පෙර සදහන් කළා මෙන් රුධිර පාරවිලයනය ද මෙයට හේතු වෙයි.

නිදසුනක් ලෙස, දින පහලවකට පසුවත් එන්නත් කරන් ලද ස්ථානය තුළ තුවාලයක් දිස් වෙයි.සති හයකට හෝ අටකට පසුව දෙවන අවදිය ඇති වන අතර මෙමගින් ශරීරයේ ඕනෑම ඉන්ද්‍රියකට බලපෑම් ඇති විය හැකිය. එමෙන් ම තෙවන උපදංශමය අවදිය වසර ගණනාවකට පසුව සම, අස්ථි සහ හෘද වාහිණීවලට බලපෑම් කරයි.

ගර්භණී කාන්තාවකට උපදංශය ආසාදනය වුවහොත් එම දරුවා මරණය පත් වීමට පවා ඉඩ ඇත. මෙහි රෝග ලක්ෂණ ලෙස,

  • ඉකිලි ප්‍රදේශය ආශ්‍රිතව වසා ගැටිති ඉදීමීම
  • ලිංගේන්ද්‍රය තුළ හෝ ඒ අශ්‍රිතව අවට වේදනාවෙන් තොර තුවාල දැකිය හැකි වීම
ලිංගික උකුණන් – Public Lice

මෙම වැඩුණු උකුණෙකු ප්‍රමාණයෙන් මිලිමීටර 1.1 ත් 1.8 ත් ප්‍රමාණයෙන් යුතු වෙයි. ඇතැම් විට ලිංගික ප්‍රදේශවල රෝමවලට අමතරව ඇහි බැමි, රැවුල, පපු ප්‍රදේශයේ රෝම, කිහිලි ආශ්‍රිත රෝමවල මෙම උකුණන් ආසාදනය වෙයි.

ප්‍රධාන වශයෙන්ම මෙහි බෝ වීම සිදු වන්නේ ලිංගික සබඳතා හරහාය.

විශේෂත්වය නම් ඔබ කොන්ඩම් භාවිත කළත් මෙම උකුණන් බෝ වීම වැළැක්වීමට නොහැකි වීමයි

 ලිංගික උකුණන් බෝ වන ආකාර වශයෙන්,

  • උකුණන් අසාදනය වූ පුද්ගලයන් වැළඳ ගැනීම
  • ඇතැම් විට අසාදිත පුද්ගලයෙකුගේ ඇඳ ඇතිරිලි පරිහරණය කිරීම මගින්

අසාදනය විය හැකිය. මෙයට අමතරව ඔබට මෙවන් තත්වයක් ඇති වූ විට

  • කැසීම – මෙම තත්වය වඩාත්ම පොදු ලක්ෂණයක් වන අතර රාත්‍රියේ දී මෙම ලක්ෂණය උග්‍ර අතට හැරෙයි
  • කැසීමෙන් අනතුරුව ඔබගේ යට ඇඳුම්වල තැවරී ඇති කළු කුඩු විශේෂයක් දක්නට ලැබීම
  • ඔබගේ කලවා හෝ යටි බඩ වැනි ( උකුණන් දෂ්ඨ කිරීමෙන් අනතුරුව ඇති වන නිල් පැහැති ලප හෝ කුඩා ලේ පැල්ලම් )
ට්‍රයිකොමෝනියාසිස් – Trichomoniasis

මෙම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගය කාර්මික රටවල මිනිසුන් අතර සුලභව පවතියි.

මෙම වෛරසය ආසාදනය වන්නේ  පුරුෂයන්ගේ මුත්‍රා මාර්ගය සහ පුරස්ථි ග්‍රන්ථය ඇසුරු කරගෙන සහ ස්ත්‍රීන්ගේ මුත්‍රා මාර්ගයේ පහල කොටස ඇසුරු කරගෙනයි.

මෙම වෛරසය ද ප්‍රධාන වශයෙන් ලිංගික සබඳතා හරහා ව්‍යාප්ත වෙයි.

  • යෝනි මාර්ගයෙන් ශ්‍රාවයක් පිට වීම
  • ගැබ් ගෙළ තුවාල
  • උදර වේදනාව මෙහි ප්‍රධාන ලක්ෂණයි

නමුත් පිරිමි පාර්ශවය තුළ මෙම රෝග ලක්ෂණ පෙන්වන්නේ සුළුවෙන් ය.

 

ඔබට ට්‍රයිකොමෝනියාසිස් ආසාදනය වී ඇත්නම් ඔබට HIV වෛරසය ශරීරයට ඇතුළු වීමට වැඩි ඉඩක් ඇත.මෙම වෛරස තත්වය කාන්තාවන් අතර බහුල රෝගී තත්වයකි. එහි රෝග ලක්ෂණ ලෙස,

  • යෝනි මාර්ගයෙන් කො, කහ හෝ අළු පැහැති ශ්‍රාවයක් පිට වීම
  • යෝනි මාර්ගයෙන් ගලන ශ්‍රාවයන්ගේ දුර්ගන්ධය
  • ලිංගික සබඳතා පවත්වන අතරතුර ඇති වන වේදනාව
  • මුත්රා කිරීමේදී මතු වන වේදනාව

එසේම පිරිමින්ට මතු වන රෝග ලක්ෂණ ලෙස,

  • ලිංගික අවයව අවට කැසීම
  • මුත්‍රා කිරීමේදී ශ්‍රාවයක් පිට වීම
  • මුත්‍රා කිරීමේදී වේදනාවක් මතු වීම

 මෙම ආසාදිත තත්වය වසර ගණනාවක් වුව ද ඔබගේ ශරීරයේ පැවතිය හැකිය.

ගොනෝරියා – Gonorrhea

සුදු බිංදුම ලෙස හඳුන්වන මෙම රෝගය Neisseria Gonorrhea බැක්ටීරියාව ආසාදනය වීම නිසා ඇති වන ලිංගික සම්ප්‍රේෂණ රෝගයකි.

මෙම බැක්ටීරියාව මගින් ගැබ් ගෙල, ගර්භාෂය සහ පැලෝපීය නාල මෙන් ම කාන්තාවන් සහ පිරිමින්ගේ මුත්‍රා මාර්ගය ආසාදනය කරයි.

එසේම මුඛය, ගුදය, උගුර සහ ඇස ආශ්‍රිත ශ්ලේශ්මල පටලවලට මෙය ආසාදනය වෙයි

 එය ලිංගික ප්‍රදේශයෙන් පිටත, උගුරේ සහ ගුද මාර්ගයේ අසාදනය වන වෛරසයකි

 ගොනෝරියා ආසාදනය වීම මවගෙන් දරුවාට ඇති වන  අතර දරුවන් බිහි කිරීමට සිටින මවු වරුන් අවධානය යොමු කළ යුතු තත්වයකි.මන්ද කුඩා දරුවාගේ සෞඛ්‍යයට ඉන් හානි කරයි.

 

එසේම ගොනෝරියා ආසාදිත රෝගීන්ට HIV ආසාදනය වීම පස් ගුණයකින් වැඩි වෙයි.එසේම එම වෛරසය මගින් කාන්තාවන් වඳ භාවයට ද පත් විය හැකිය. මෙම ගොනෝරියා තත්වය හේතුවෙන්,

  • යටි බඩ ආශ්රිත වේදනාව
  • දරුවන් අන්ධ භාවයට පත් වීම් – Conjunctivitis
  • දරුවන් ගබ්සා වීම

සිදු වෙයි.

මෙම ලිංගික රෝගයේ ලක්ෂණ ලෙස,

  • ලිංගික ප්‍රදේශයෙන් සැරවා වැනි දියරයක් ගැලීම
  • ලිංගික ප්දේශයේ අසාමාන්‍යය වෙනස් වීම්
  • ලිංගික සබඳතා පැවැත්වීමේ දී මතු වන වේදනාව
  • මුත්‍රා කිරීමේදී එන දැවිල්ල
  • ශිෂ්ණය ඍඡු වන අවස්ථාවල දී සුදු සහ කහ පැහැයට හුරු ශ්‍රාවයක් පිට වීම ( යට ඇඳුම්වල දැකිය හැකි වීම)
  • වෘෂණකෝෂවල දිමීම සහ වේදනාව

 දැක්විය හැකිය

හර්පීස් – Herpes

හර්පීස් ‍යනු ලිංගිකව සම්ප්‍රේෂණයවන පොදු රෝග තත්වයකි. මෙම හර්පීස් තත්වය ප්‍රධාන ආකාර දෙකක් ඔස්සේ දැකිය හැකිය.

  1. ලිංගික හර්පීස් – Genital Herpes
  2. මුඛ හර්පීස් – Oral Herpes

මෙම මුඛ හර්පීස් තත්වය කෙල  මාර්ගයෙන්  බෝ විය හැකිය. එමෙන් ම ලිංගික හර්පීස් තත්වය යෝනි මාර්ගයෙන්, ගුද මාර්ගයෙන් හෝ මුඛ සංසර්ගයේ යෙදීම හේතුවෙන් වැළඳිය හැකිය.

හර්පීස් තුවාල බොහෝ විට ලිංගික අවයව, ගුද මාර්ගයේ හෝ මුඛය අවට එකක් හෝ කිහිපයක් ලෙස දිස් වෙයි.හර්පීස් රෝග ලක්ෂණ ලෙස,

  • ලිංගික ප්‍රදේශවල තුවාල ඇති වීම
  • මුත්‍රා කරන විට දැවිල්ලක් ඇතිවීම දැක්විය හැකිය.
මානව පැපිලෝමා වෛරසය – HPV

මානව පැපිලෝමා වෛරසය ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණයවන ‍රෝග අතරින් වඩාත් බහුලතම වෛරසස් තත්වයකි.එම වෛරසය ද අනෙක් ඒවා මෙන් ලිංගික සබඳතා සහ මුඛ සංසර්ගය හරහා ශරීරගත වෙයි. නමුත් පොදුවේ ගත් විට යෝනි මාර්ගය සහ ගුද මාර්ගය ආශ්‍රිතව වන සබඳතා නිසා මෙම බෝවීම සිදු වෙයි.

මෙම මානව පැපිලෝමා වෛරසය ආසාදනය වූ අයෙක් සමග ලිංගිකව එක් වීමෙන් වසර ගණනාවකට පසුව ද රොග ලක්ෂණ මතු වෙයි.වෙයි.එසේම ලිංගික ඉන්නන් සහ ගැබ් ගෙල පිළිකා වැනි ගැටළු ඇති විය හැකිය.

මෙම මානව පැපිලෝමා වෛරසයෙන් ආරක්ෂා වීමට වයස අවුරුදු 11 දී හෝ 12 දී   එන්නත් කිරීම ආරම්භ කළ හැකිය. එසේම මෙම එන්නත් වයස අවුරුදු 26 දක්වා සෑම කෙනෙක්ටම එන්නත් කළ හැකිය.

මේ පිළිබඳ අපි නිකුත් කර ඇතිව ගැබ්ගෙල පිළිකා ලිපිය කියවීමෙන් මෙම මානව පැපිලෝමා වෛරසය පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

ලිංගික ඉන්නන් – Genital Warts

මෙම ලිංගික ඉන්නන් ඇතිවීම මානව පැපිලෝමා වෛරසයේ අතුරු ප්‍රතිඵලයකි. මෙම තත්වය පිරිමි සහ ගැහැනු දෙපාර්ශවයේම අතර පවතින අතර මෙහි ආසාදනය වීම් උග්‍ර ලෙස පවතින්නේ කාන්තා පාර්ශවය අතරයි. ලිංගික ඉන්නන් තත්වය සුව කළ හැකි වුවත් සුව කරන අතර වාරයේ දී පවා ලිංගික ඉන්නන් තත්වය මතු විය හැකිය

ලිංගික ඉන්නන් යනු ලිංගික අවයව මත ඇති වන මෘදු වර්ධකයකි. මෙම තත්වය නිසා අසාමාන්‍යය වේදනාව මෙන් ම අසාමාන්‍යය කැසීම ඇති විය හැකිය. මානව පැපිලෝමා වෛරසය ආසාදනය හේතුවෙන් මෙම තත්වය ගැබ්ගෙල පිලිකා තත්වයක් පවා ඇති කළ හැකිය.

මෙම ඉන්නන් විශේෂය වර්ධනය වන්නේ මුඛ, ගුද, සහ යෝනි මාර්ගය ආශ්‍රිත ලිංගික ක්‍රියාවන් සිදු කිරීම මගින් ය.

ලිංගික ඉන්නන් මිනිස් ඇසට නොපෙනෙන අතර සමේ වර්ණය මෙන් තරමක් තද පැහැයක් ගනියි. එහි වර්ධනයේ මුදුන වට්ටක්කා ගෙඩියකට සමාන විය හැකි අතර ස්පර්ශ කර බලන විට තරමක් සිනිඳු ගැටිති ස්වභාවයක් දැනෙයි. ඔවුන් ඉන්නන් පොකුරක් ලෙසින් වර්ධනය විය හැකි ය.

පිරිමි පාර්ශවය අතර නම් ලිංගික ඉන්නන් ඇති වන්නේ,

  • ශිෂ්ණය
  • වෘෂණ කෝෂ
  • ඉඟටිය
  • කලවා
  • ගුදය හෝ ඒ අශ්‍රිතවයි

කාන්තාවන්ට නම් යෝනි මාර්ගය ආශ්‍රිතව හෝ ගුදය ඇතුළත, ඇතැම් විට ගැබ්ගෙල මත ද ආසාදනය විය හැකිය.

යම් පුද්ගලයෙකුට ලිංගික ඉන්නන් පවතින බවට ලක්ෂණ ලෙස,

  • ලිංගික ප්‍රදේශය කැසීම
  • ලේ ගැලීම
  • වේදනාකාරී දැවිල්ලක් ඇතිවීම සිදු වෙයි

එසේම යම් අයෙකු

  • දුම්පානයට ඇබ්බැහි වීම
  • දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබීම
  • කුඩා කාලයේ දී සිදු වූ අතවරයන්

පවා හේතු විය හැකිය.

කාන්තාවන්ට මෙම ඉන්නන් පරීක්ෂා කිරීම පැප් පරීක්ෂාව හරහා සිදු කළ හැකිය.

 

HIV – මානව ප්‍රතිශක්තිකරණ ඌණතා වෛරසය

HIV යනු, මානව ප්‍රතිශක්තිකරණ ඌණතා වෛරසයයි. එනම් මෙම ලිංගික සම්ප්‍රේෂණ වෛරසය මානව ප්‍රතිශක්තිකරණ පද්ධතියට පහර දෙන වෛරසයකි.මෙම HIV වෛරසය සඳහා ප්‍රතිකාර නොකළහොත් එය AIDS ( ප්‍රතිශක්තිකරණ ඌණතා සින්ඩ්‍රෝමය ඇති විය හැකිය.

මෙම HIV වෛරසය ආසාදනය වන ආකාර පිළිබඳ නිවැරදි අවබෝධයකින් කටයුතු කළ හොත් එය වලක්වා ගත හැකිය.

HIV ආසාදිත ලක්ෂණ

ඇතැම් පුද්ගලයන්ට ආසාදනය වී සති 2 සිට සති 4 දක්වා කාලය තුළ උණ වැනි රෝග ලක්ෂණ පවතියි.මෙම රෝග ලක්ෂණ දින කිහිපයක් හෝ සති කිහිපයක් පැවතිය හැකිය.

  • උණ
  • දැවිල්ල
  • දද
  • ශරීරයේ සම මතුපිට වේදනාව
  • උගුරේ ආසාදනය
  • රාත්‍රියේ දහදිය දැමීම
  • තෙහෙට්ටුව
  • ඉදිමුණු වසා ගැටිති
  • උගුරේ ආසාදන

HIV වෛරසය ආසාදනය වීම ආකාර කිහිපයකට සිදු වෙයි

  • ආසාදිත මවක් දරුවෙකු ප්‍රසූත් කළ විට එම දරුවාට
  • අනාරක්ෂිත ලිංගික සබඳතා
  • රුධිර පාරවිලයනය
  • මත්ද්‍රව්‍යය භාවිතය
  • පච්ච කෙටීම

බොහෝ විට අවුරුදු 8 ත් 10 ත් වන තුරු රෝග ලක්ෂණ මතු නොවේ. එම රෝග ලක්ෂණ ලෙස

  • කෙටි කාලෙක දී ශරීරයේ බර අඩු වීම
  • දිගු කාලීන පාචනය
  • මාසෙකට වැඩි කාලයක් පවතින උණ
  • ක්ෂය රෝගය
  • නිවුමෝනියාව
  • බෙල්ලේ සහ කිහිලි යට වසා ගැටිති ඉදිමීම
  • මුඛ ආසාදන
  • ආහාර අරුචිය

දැකිය හැකිය.

මෙම වෛරසය

  • පිරිමියෙකුගේ ශුක්‍ර තරලවල
  • කාන්තාවන්ගේ ගැබ් ගෙල ආශ්‍රිතව
  • යෝනි ශ්‍රාවවල
  • මවුකිරිවල පවතියි

නමුත් සිප ගැනීම, අතට අත දීම, කිවිසුම් යාමේදී පිට වන කෙල, එකම වැසිකිළිය භාවිතය මගින් මෙම වෛරසය ආසාදනය නොවෙයි.

මෙවන් තත්වයන් වලක්වා ගැනීමට කල් තියා ඔබට ආරක්ෂාකාරී විය හැකිය.

  • රබර් කොන්ඩම් භාවිතය
  • ලිංගික සබඳතා එක් සහකරුවෙකුට පමණක් සීමා කිරීම
  • ලිංගාශ්‍රිත රෝග පවතින විට නිසි ප්‍රතිකාර ලබා ගැනීම

යන ආරක්ෂක උපක්‍රම අනුගමනය කළ හැකිය.

මෙවන් තත්වයකට මුහුණ දුන් පුද්ගලයා විශාල පීඩනයකට පත් වෙයි. එය කායික මෙන්ම මානසික පීඩනයකි. වෛද්‍යවරයෙකු හමු වී රෝගය පරීක්ෂා කර ගැනීමට යාමට සිදු වීම නිසා බොහෝ අවස්ථාවන්වල එම රෝගය සඟවා ගනිමින් ජීවත් වීමට ආසාදිත පුද්ගලයන් කටයුතු කරයි.

යම් අවස්ථාවක ඔබත් මෙවන් තත්වයකට මුහුණ දෙන්නේ නම්, oDoc අපගේ ලිංගාශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍යයවරයෙකු මගින් නිවසේ සිටම, රහසිගතව පරීක්ෂා කර ගැනීමේ හැකියාව පැය විසි හතර පුරාවටම ඔබ වෙනුවෙන් ලබා දෙනු ඇත.

ODoc අපි ඔබ සමග නිරන්තරයෙන්

ආශ්‍රිත ග්‍රන්ථ 

  1. National STD/AIDS Control Programme – Sri Lanka
  2. National Health Service ( NHS ) – England
  3. Sexually Transmited Diseases & Infections ( STD & STIs ), Cleveland Clinic, Ohio, my.clevelandclinic.org
  4. Center for Disease Control and Prevention ( CDC ), USA.gov
  5. STD Information, Multi – drug resistant gonorrhea, WHO
  6. Pan American Health Organization, PAHO, USA
  7. Global Information and Education on HIV and AIDS, avert.org
  8. Sexually Transmited Infections ( STIs ), WHO
Shares

Similar Articles...

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Categories
Blog Article

දරුවෙකු බිහි කිරීමෙන් අනතුරුව ඇතිවන මානසික සංකූලතා

දරුවෙකු බිහි කිරීමෙන් අනතුරුව ඇතිවන මානසික සංකූලතා

Shares

ඔබගේ ජීවිතය තුළ ඇතිවන මානසික ගැටළු පිළිබඳ නිශ්චිත ස්වරූපයක් නැත. ආසියානු සමාජයේ විවාහ ජීවිතය තුළ බොහෝ වගකීම් ප්‍රමාණයක් කර දරන්නේ ගැහැණිය යි. එය ක්‍රමයෙන් මුහුකුරා ගොසින් මේ වන විට ඇය මුදල් ඉපයීමේ කාර්ය භාරයට උර දෙමින් සිටි යි. මෙවන් වූ තත්වයක් තුළ දරුවෙකු බිහි කිරීමට මාස නවයක කාලයක් ශරීරයෙන් සූදානම් වීම, තම වගකීම් සහ කාර්යභාරයන් නොපිරිහෙලා ඉටු කිරීම මෙන් ම සිය විවාහ ජීවිතය පවත්වා ගැනීමට සැමියාට ආදරණීය බිරිඳක් වීම යන සිද්ධීන් හි මානසික අරගලයන් කිරීමට සිදු වෙයි. මෙබඳු තත්වයක් ‘ බේබි බ්ලූස් -Baby Blues ‘ හෝ පසු ප්‍රසව විශාදමය තත්වය – ( Postpartum Depression ) ඇති වීමට මග සලසවයි.

රු ප්‍රසූතියකින් අනතුරුව මවක් ඉතාමත් විඩාබර තත්වයකට පත් වේ. බොහෝ අවස්ථාවල දරු ප්‍රසූතියට පසුව විඳි අත්දැකීම් හේතුවෙන් මෙන් ම සාමාන්‍යය ජීවිතයක සිට වගකීම් සහගත ජීවිතයකට ගමන් කිරීම වැනි කරුණු හේතු කොට ගෙන යම් ස්ත්‍රීයක් මානසික ව්‍යාකූල තත්වයකට පත්ව සිටිය හැකිය. බොහෝ අවස්ථාවල,

  • තමන්ට අවශ්‍යය ආකාරයේ ප්‍රමාණවත් නින්දක් නොලැබීම
  • දරුවා බිහි කිරීමේ දී සිදු කළ සැත්කම් සහ ප්‍රසූතියේ දී මතු වූ වේදනාවන්
  • දරු ප්‍රසූතිය සිදු කිරීමේ දී ලද අත්දැකීම් සිහි වීමේදී ඇති වන කම්පනයන්
  • දරුවා සම්බන්ධයෙන් මතු වන වගකීම්
  • ගර්භනී කාලයේ දී සහ දරුවා බිහි කිරීමෙන් අනතුරුව ශරීරයේ සිදු වන හෝර්මෝන වෙනස්කම්

වැනි හේතු නිසා ඇති වන කම්පනය බේබි බ්ලූස් තත්වයන් මතු වීමට හේතු වෙයි

දරුවා ලැබීමෙන් අනතුරුව තමන්ගේ සිතුවිලි තුළ නිතර ඇතිවන දුක, බිය, කාංසාව මෙන් ම මානසික ආතතිමය තත්වයන් බේබි බ්ලූස් තත්වයන් ලෙස හඳුන්වයි. බොහෝ කාන්තාවන්ට සිය දරු ප්‍රසූතියෙන් පසුව සති එකත් දෙකත් අතර කාලයේ දී මෙම තත්වය පවතින අතර පසුව එය සුව වී යයි. දරු ප්‍රසූතියකින් අනතුරුව බොහෝ මවුවරුන් 80% පමණ දෙනා තමන්ගේ ප්‍රසව වේදනාව සමගින් මතු වන දුක, දරු ප්‍රසූතියකින් පසුව පලමු දින 15 තුළ අත්විඳිනු ඇත. මෙම බේබි බ්ලූස් අවධිය මෘදු සංක්‍රාන්තික අවස්ථාවක් ලෙස හඳුන්වයි. බොහෝ විට එය වෛද්‍යය උපදෙස්වලින් තොරව සුව විය හැකි ය. කාන්තාවක් තුළ දරුවෙකු වෙනුවෙන් සිදු වන කායික සහ මානසික, හෝර්මෝන වෙනස්කම් මෙන් ම දරු ප්‍රසූතියෙන් අනතුරුව ශරීරය යථා තත්වයට පත් වීම අතර දෝලනය වීම මෙයට හේතු වෙයි. නමුත් මෙම බේබි බ්ලූස් තත්වය ඔබගේ දෛනික කාර්යයන්ට බාධා නොකරයි. එනම් බේබි බ්ලූස් යනු ඔබව නැවත සකස් කිරීමේ සංක්‍රාන්තික තත්වයකි.

 නමුත් යම් කිසි කාන්තාවක් දිගින් දිගටම මෙවැනි සිතුවිලි සමගින් මානසික ව්‍යාකූලත්වයකට පත්ව සිටිනවා නම් එම තත්වය පසු ප්‍රසව විශාදමය තත්වය යටතට ගැනෙයි ( Postpartum Depression )

මොකක්ද මේ පසු ප්‍රසව විශාදය?

මෙය මානසික අවපීඩණයෙ දරුණු අවස්ථාවන් ඇති කළ හැකි විශාදමය තත්වයකි. යම් අයෙකු සිය දරුවා බිහි කිරීමෙන් අනතුරුව ගත වන සති තුනක් සහ හතරක් අතර කාලය මෙන් ම වසරක් ගත වන තෙක් මෙම පසු ප්‍රසව විශාද තත්වය ඇති විය හැකි ය. තම දරුවා කෙරෙහි ආදරය, සෙනෙහස ඇති නොවීම මෙහි ප්‍රධාන ලක්ෂණය වන අතර එම වරදකාරී හැඟීම හේතුවෙන් පශ්චාත්තාපයට පත් වීම මෙම රෝගයේ ස්වභාවය යි. පසු ප්‍රසව විශාදමය තත්වය ඇති වීමට මූලික හේතු ගණනාවක් ඇත. එනම්,

  • ඔබගේ පවුලේ හෝ පවුල් ඉතිහාසය ගත් විට විශාදය, මානසික ආතතිය වැනි රෝග ලක්ෂණ පැවතී තිබීම
  • පසු ප්‍රසව ආතතිය
  • මවු කිරි දීමේ දුෂ්කරතා
  • දරුවෙක් බිහි කිරීම පිළිබඳව පෙර සැලසුමක් නොමැතිව අනපේක්ෂිතව සිදු වූ ගැබ් ගැනීම්
  • දිගු කාලයක් තිස්සේ මත්පැන්, මත්ද්‍රව්‍යය පානයට යොමු වීම
  • රැකියාව අහිමි වීම වැනි ගැටලු හේතුවෙන් ඇති වන ආර්ථික අපහසුතා
  • තම ස්වාමිපුරුෂයාගෙන් හෝ පවුලේ වෙනත් අයගෙන් දරුවා රැක බලා ගැනීම වෙනුවෙන් ප්‍රමාණවත් සහය නොලැබීම

යනාදී තත්වයන් පසු ප්‍රසව විශාදමය තත්වය ඇති වීමට හේතු වෙයි.

මෙම මානසික ව්‍යාකූලතාවය හේතුවෙන් දරුවාට හානි කරන සිතුවිලි පවා ඇති වීමට හැකි වෙයි. ප්‍රමාණවත් නින්දක් නොමැතිව නිරන්තරයෙන් සිය දරුවා පිළිබඳ බිය ජනක සිතුවිලි ඇති කර ගන්නා මෙම මවුවරුන් සියදිවි නසා ගැනීමේ තත්වයකට වුව ද පත් විය හැකි ය. බොහෝ විට මෙම පසු ප්‍රසව විශාදමය තත්වයට හේතු වන කාන්තාවන් අතර ගබ්සාවක් කළ හෝ අනපේක්ෂිතව සිය දරුවා ගබ්සා වූ කාන්තාවන් දැකිය හැකිය. ඇතැම් අවස්ථාවල දී මෙම තත්වය පියවරුන් තුළ වුව ද දැකිය හැකි ය.

බොහෝ අවස්ථාවන්හි දී මෙම පසු ප්‍රසව විශාදමය තත්වය සති තුනත් හයත් අතර කාලයේ දී සුව වන බව අසන්නට ලැබුණත් එහි රෝග ලක්ෂණවල බරපතලකම අනුව සුව වීමට කාලයක් ගත විය හැකිය. එසේම පසු ප්‍රසව විශාදය පිලිබඳ ප්‍රචලිත අසත්‍යයක් නම්, එම මවුවරුන්ගේ දරුවන් උපතේ දී බර අඩු වී ඉපදීම යන කරුණ යි. එය ප්‍රායෝගික නොවන නමුත් ඔබ දුකින් කල් ගත කිරීම ඔබේ කලලයට බලපාන අතර එම හේතුවෙන් නොමේරු දරු උපතක් ඇති විය හැකි ය.

අපගේ ශරීරවල සිදු වන හෝර්මෝනවල විපර්යාසයන් අපට තනිව පාලනය කළ නොහැකි ය. මෙම මානසික තත්වය මැඩ පවත්වා ගැනීම ඔබ විසින් කල්පනාකාරීව සිදු කළ යුතුය. නිදසුනක් ලෙස,

ඔබගේ ස්වාමි පුරුෂයා සහ ඔබ අතර ඇති සම්බන්ධයට මෙම පසු ප්‍රසව විශාදමය තත්වය තදින්ම බලපෑ හැකිය. ඔබ නිරන්තරයෙන් හුදකලාව සිටිමින් සහකරු ප්‍රතික්ෂේප කිරීම ඔබ දෙදෙනාගේ සම්බන්ධයට අහිතකර ලෙස බලපෑ හැකි ය.

මෙම පසු ප්‍රසව විශාදමය තත්වය කාන්තාවක් තමන්ගේ දෙවන හෝ තෙවන දරුවා බිහි කිරීමෙන් අනතුරුව වුව ද මතු විය හැකි අතර, මෙබඳු තත්වයක දී ඔබගේ අනෙකුත් දරුවන්ට ද සිය මවගේ ස්නේහය අහිමි වී යා හැකි ය. පසු ප්‍රසව විශාදය දරුවන්ගේ චිත්තවේග වර්ධනයට දිගු කාලීනව බලපෑම් කළ හැකි බව වෛද්‍යය අදහසයි.

එසේම , බොහෝ ස්ත්‍රීන් විවාහයට පෙර සිටම සැමියාගේ ඥාතීන් සම්බන්ධව තද පිළිවෙතක් අනුගමනය කිරීම දැකිය හැකිය. නමුත් තමන්ට උපකාර කරන ඥාතීන් හිත මිතුරන් ගෙන් ඈත් වෙමින් තමන්ට තනිව පවුල් ජීවිතයක් ගෙන යා නොහැකි බව සිහි තබා ගන්න. ඔවුන් සමග සමගියෙන් කටයුතු කරන්න.

මෙම් තත්වය සුව කර ගත හැක්කේ කෙසේද?

 දරු උපතකින් සති දෙකකට පමණ පසුවත් ඔබට සහනයක් නොදැනෙන්නේ නම්, වෛද්‍යයවරයෙකු වෙත යොමු වන්න. නමුත්, ඔබට මෙම රෝගයෙන් පූර්ණ සුවය ලබා ගැනීමට නම් වෛද්‍යයවරයාට අවංක විය යුතු ය. මන්ද මෙම පසු ප්‍රසව විශාදමය තත්වය ඔබගේ මොළයට පමණක් නොව ඔබගේ මුළු ශරීරයටම බලපෑම් ඇති කරන බැවින් ය.

 ලෝක සෞඛ්‍යය සංවිධානය දක්වන ආකාරයට මෙම පසු ප්‍රසව විශාදය සුව කරන ප්‍රතිකර්ම පිළිබඳව නිවැරැදි පර්යේෂණ සිදු කර ඇත. ඒ අතරින්

  • ‍ඊස්ට්‍රජන් චිකිත්සාව
  • සම්බාහන චිකිත්සාව
  • දීප්තිමත් ආලෝක චිකිත්සාව
  • විද්‍යුත් විච්ජේදන චිකිත්සාව

හඳුන්වා දී ඇත. මෙම විද්‍යුත් විච්ජේදන චිකිත්සක ක්‍රමය දැඩි මානසික අවපීඩණයෙන් පෙළෙන ගැබිණි කාන්තාවන්ට හඳුන්වා දී ඇත. එසේම,

  • ඖෂධ ලබා දීම
  • නිවැරදි උපදේශන වෙත යොමු කිරීම
  • ව්‍යායාමවල නිරත වීම
  • මනස සන්සුන්ව තබා ගැනීමට භාවනා ක්‍රම ප්‍රගුණ කිරීම

ප්‍රධාන තැනක් ගනි යි.

මවක් වීම, වගකීම් දැරීම, ජීවිතයේ ඉදිරියට යන විට ඇති වන ගල් මුල් යන සියල්ල අප සියලු දෙනාටම පොදු ධර්මතාවය කි. ජීවිතය අනපේක්ෂිත සිදුවීම් රැසක් සමගින් ඉදිරියට ගලා යයි. නමුත්, ඔබ, මම, අප සියලු දෙනාගේ ගමනාන්තය තීරණය වන්නේ අප ඒවාට දක්වන ප්‍රතිචාර මතයි. දරුවෙකු බිහි කිරීමෙන් ඔබට නව ජීවියෙකු ලෝකයට දායාද කළ හැකිය. නෙල්සන් මැන්ඩෙලා, ස්ටීව් ජොබ්ස්, වංගරි මාතායි, මලාලා යූසෆ්සායි, ග්‍රේටා තුන්බර්ග්, වැනි වටිනා දරුවන් මේ ලොවට බිහි වීමේ වටිනාකම හේතුවෙන් ලෝකය ධනාත්මක  මාවතකට යොමු විය. ජීවිතයේ සියලු වේදනාවන් ධනාත්මක ලෙස දකින්න. එවිට සියල්ල ඔබට සුබථල ගෙන එනු ඇත.

මෙවන් අවස්ථාවක දී මානසික වෛද්‍යවරයෙකුගේ සහය ඉතාමත් වැදගත් වන අතර oDoc සේවාව පැය විසිහතරේම ඔබ වෙනුවෙන් ක්‍රියාත්මක වෙයි. නිවසේ සිට වෛද්‍යවරයා සමග සම්බන්ධ වීමට තිබෙන පහසුකම හේතුවෙන් ඔබගේ පුද්ගලිකත්වය ද ආරක්ෂාකාරී වනු ඇත.

ආශ්‍රිත ග්‍රන්ථ

  • Postpartum Depression : Literature Review of Risk Factors and Interventions, WHO
  • පශ්චාත් කාලීන අවපාතයේ වර්ග මොනවාද ?, ReoVeme
  • වැදූ ගෙයි සන්නිය නැත්නම් පසු ප්‍රසව විශාදය කියන්නේ මොකක්ද , Baby and Me
  • පශ්චාත් ප්‍රසව මානසික අවපීඩණය : මිනිසුන් තවමත් විශ්වාස කරන මෝඩ මිත්‍යාවන් පහක්, මා අසල සෞඛ්‍යය සම්පන්න ආහාර
  • පශ්චාත් ප්‍රසව අවපාතය, අද මවුවරු
  • පශ්චාත් ප්‍රසව මනෝ චිකිත්සාව : එය සමග කටයුතු කළ යුතු ආකාරය දැනගැනීමට එය දැන සිටීම, Emergency live
  • පසු ප්‍රසව ආතතිය කොපමණ කාලයක් තියනවාද?එය අවම කරගත හැකිද ? ,Hadakari.com
Shares

Similar Articles...

Endometriosis

Endometriosis No woman looks forward to “that time of the month.” Dealing with nausea, stomach cramps, mood swings, back pains and fatigue, all whilst facing

Read More »

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog