Categories
Blog Article

Endometriosis

ගැබ් ගැනීම ප්රමාද කරවන එන්ඩොමෙට්රියෝසිස් තත්වය

Shares
සරලවම එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය යනු කුමක්ද?

 අපගේ ගර්භාෂයේ ඇති පටක මාස් පතා බිඳ වැටීම හේතුවෙන් ඔසප් චක්‍රය සිදු වන බව අප කවුරුත් දන්නා විද්‍යාත්මක සත්‍යයකි. එම බිඳවැටීමට ලක් වන පටක යෝනි මාර්ගය හරහා පිටව යයි.

එහෙත් ගර්භාෂය ඇතුළත බිත්තියේ පවතින පටක සිරුරේ වෙනත් ස්ථානයන් හි හටගත්තොත්?

එවිට එම පටක බිඳ වැටෙන විට ඒවා රුධිරය හරහා පිටව යෑමට මාර්ගයක් නොමැති වුව හොත් එම පටක මිශ්ර රුධිරය අපව රෝගී තත්වයට පත් කරයි. අපි එය එන්ඩොමෙට්‍රියෝසිස් රෝගී තත්වය ලෙස හඳුන්වමු.

බොහෝ විට එන්ඩොමෙට්‍රියෝසිස් රෝගී තත්වය ඩිම්බකෝෂ, පැලෝපීය නාල,ගර්භාෂයෙන් පිටත පෘෂඨයේ බඩවැල්, උදර කුහරය තුළ ඇති වෙනත් අවයව තුළ හට ගනියි. එසේම ඉතා කලාතුරකින් උදර කුහරයෙන් පිටත එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය මතු විය හැකි ය

 ශෝචනීය තත්වය නම් කාන්තාවන්ට සිය ජීවිත කාලය පුරාවටම මෙම රෝගී තත්වය පැවතිය හැකි වීම යි.එනම් ඊස්ට්‍රජන් හෝමෝනය ශරීරයේ නිපදවීමේ ක්‍රියාකාරීත්වය හේතුවෙන් මෙම එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය උත්සන්න වෙන අතර ඔසප් චක්‍රය නැවතී ඇති අයෙකු තුළ මෙම තත්වය නොපවතින බව වෛද්‍යය අදහස යි.

එසේනම් එන්ඩොමෙට්‍රියෝසිස් රෝගී තත්වය පවතින කාන්තාවන් තුළ පෙන්වන ලක්ෂණ මොනවාද?
  • දිගු කාලයක් තිස්සේ පවතින සුව නොවන උදර වේදනාව
  • ඔසප් වන විට සාමාන්‍යය වේදනාව ඉක්මවා පවතින අධික වේදනාව
  • ලිංගික සංසර්ගයේ දී සහ ඉන් පසුව කොන්දේ සහ උකුලේ ඇති වන වේදනාත්මක තත්වයන්
  • අක්‍රමවත් ඔසප් චක්‍රය
  • ශරීරයේ බර අඩු වීම
  • මලබද්ධය හෝ අතීසාරය
  • බඩ පිපුම හෝ ක්‍රමවත් අයුරින් මලපහ නොවීම
  • වැසිකිළි යාමේ දී මතු වන වේදනාව
  • මදසරුබවදරු පිළිසිඳගැනීම් සිදු නොවීම

වැනි තත්වයන් මතු විය හැකි වුවත් යම් කාන්තාවකට ඉහත ලක්ෂණ කිසිවක් නොපෙන්වා වුව ද එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වය පැවතිය හැකිය. එබැවින් මෙම රෝගී තත්වය මුල් අවධියේ හඳුනා නොගැනීම මඟින් කාන්තාවන්ව තරමක් අවධානම් තත්වයකට පත් කරයි.

මෙම එන්ඩොමෙට්‍රියෝසිස් රෝගී තත්වය පවතින කාන්තාවක්ගේ ශරීරයට සිදු වන්නේ කුමක්ද?
  • ගර්භාෂයේ බිත්ති මත හට ගන්නා පටක වෙනත් ස්ථානයක ඇති වීම හේතුවෙන් එහි ක්‍රියාවලිය ගර්භාෂය තුළ සිදු වූ ක්‍රියාවලියට සමානව සිදු වීම. එනම් නොකඩවා ඔසප් වීම සිදු වීම
  • උකුලේ පටකවලින් එහාට ගොස් ඩිම්බකෝෂ දක්වා වර්ධනය වීම
එන්ඩොමෙට්‍රියෝසිස් රෝගී තත්වය වැළඳීමට වැඩි අවධානමක් ඇත්තේ කාටද?
  • වැඩිවියට පැමිණි කාන්තාවන්ට
  • පරම්පරාවෙන් එන්ඩොමෙට්‍රියෝසිස් රෝගය පැමිණීම
  • ඔසප් චක්‍රය දින 28 ට අඩුවෙන් සිදු වන කාන්තාවන්ට
  • ඔසප් වීම දින හතක් පවතින කාන්තාවන්ට
  • වයස අවුරුදු 12 ට පෙර වැඩිවියට පත් වූ කාන්තාවන්ට
  • විවාහා වී වසරක් ගත වුව ද ( උපත් පාලන ක්‍රමයන්ගෙන් වැළකී වසරක කාලයක් සාමාන්‍යය ලිංගික කටයුතුවල නිරත වූ) ගැබ් ගැනීමක් නොතිබුණු කාන්තාවන්ට
  • ඔසප් රුධිරය ගලා යාම අවහිර වන සේ පිහිටා ඇති, ගර්භාෂයේ,ගැබ් ගෙලහි හෝ යෝනි මාර්ගයේ අසාමාන්‍යය හැඩය
එන්ඩොමෙට්‍රියෝසිස් තත්වය වලක්වා ගැනීමට කළ යුතු දේවල් මොනවාද?
  • අපගේ ශරීරයේ රසායනික තත්වයන්, පටක ස්වභාවයන්, ශරීර අවයවවල සංකූලතා බොහොමයක් ඇති වන්නේ අපගේ මානසික සමබරතාවය ගිලිහී ගිය විට ය. එබැවින් මූලික වශයෙන් ඔබ කාන්තාවක් නම් ඔබගේ මානසික සුවතාවය පිළිබඳව මනා අයුරින් සිතිය යුතු ය.
  • සමබර ආහාර වේල් ගැනීමට හැකි පමණ උත්සාහ කරන්න. ඔබගේ ගෙවත්තේ තිබෙන මැල්ලුම්, එළවළු වර්ග, පළතුරු හැකි පමණ ආහාරයට එකතු කර ගන්න. රසායනික තෙල් පොහොර අඩංගු ආහාරවලින් වැළකී සිටින්නට උත්සාහ කරන්න
  • හොඳින් ජලය පානය කරන්න
  • දිනකට විනාඩි තිහක් වත් සැහැල්ලු ව්‍යායාමවල නිරත වන්න
  • ප්‍රමාණවත් ලෙස නින්ද ලබා ගන්න
  • මානසික ආතතිය අවම කරන යෝගා ව්‍යායාම සහ භාවනා කිරීමට විනාඩි කිහිපයක් හෝ උත්සාහ කරන්න

 ඔබ හෝ ඔබගේ ආදරණීයයන් මෙවන් රෝග ලක්ෂණවලින් පෙළෙන බවට සලකුණු පවතී නම් ඉතාමත් පහසුවෙන් නිවසේ සිට oDoc ඇප් එක හරහා ප්‍රසව හා නාරි වෛද්‍යයවරයෙකු සමග සම්බන්ධ විය හැකි ය. ලෝකයේ ඕනෑම තැනක සිට ඕනෑම වේලාවක කතා කරන්න, අදම oDoc ඇප් එක ඩවුන්ලෝඩ් කර ගන්න

 ආශ්‍රිත කියවීම්

  • එන්ඩොමෙට්‍රියෝසිස්,org.au, sinhala, assets.jeanhailes.org.au
  • Endometriosis – එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වය ගැන රුධිර සාකච්ඡාව, Dr.Chaminda Mathota, Youtube.
  • එන්ඩොමෙට්‍රියෝසිස් සහ මදසරු භාවය, හශිනි නිමන්තිකා, සුවහස්,wordpress.com
  • එන්ඩොමෙට්‍රියෝසිස් රෝග තත්වය ගැන ටිකක් දැනගනිමු, සුවසෙවන, සැප්තැම්බර්,2017,www.suwasewana.com
  • කාන්තාවන්ට අධිකව වද දෙන එන්ඩොමෙට්‍රියෝසිස්, 2019 අගෝස්තු 10, දේශය, www.deshaya.lk

 

Shares

Similar Articles...

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Categories
Blog Article

පුංචි දුවගේ ඔසප් දවස

පුංචි දුවගේ ඔසප් දවස

Shares

ලාංකික සමාජය තුළ මල්වර වීම නැතහොත් වැඩි වියට පැමිණීම ඉතා උත්සවාකාරයෙන් සමරයි. එසේ වුවත් දෙමාපියන් විසින් මිත්‍යාවන් මත පදනම්ව දරුවන්ට වැරදි උපදෙස් ලබා දෙන අතර දරුවාගේ ඔසප් වීම පිළිබඳ යථාර්ථය අවබෝධ කිරීමක් සිදු කරන්නේ නැත.

සැබැවින්ම ඔසප් වීම යනු කුමක්ද?

( ඔසප් වීම සම්බන්ධ විද්‍යාත්මක තොරතුරු පිළිබඳ නැවත කියවීමට ඔබ උනන්දුවක් නොමැති නම් දෙවන කරුණ වෙත පිවිසෙන්න)

ඔසප් වීමක් කාන්තාවකට සිදු වීම ආරම්භ වන්නේ ශරීරයේ සිදු වන හෝර්මෝන වෙනස් වීම මත ය. සරලවම කාන්තාවකගේ ශරීරයේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටෙරෝන් හෝර්මෝන ක්‍රියා කාරීත්වයේ ආරම්භය ඔසප් වීම හරහා සිදු වන අතර එම හොර්මෝන මගින් ගර්භාෂයේ ශ්ලේශ්මල පටලය ගොඩ නැගීමට හේතු වෙයි. කුස තුළ වර්ධනය වීමට බීජයක් ( කලලයක්) නොමැති කම නිසා ගර්භාෂයේ ශ්ලේශ්මල පටලය කැඩීම නැතහොත් ගර්භාෂයේ බිත්ති බිඳී ලේ ගැලීම සිදු වෙයි. එම ක්‍රියාවලිය නැවත නැවතත් සිදු වීම මාසික ඔසප් වීම ලෙස හඳුන්වයි. එහි අරමුණ නම්, ස්ත්‍රීයකට දරුවෙකු දරාගෙන සිටීමට ගර්භාෂය සකස් කිරීමයි.

එසේම ගර්භාෂයේ ශ්ලේශ්මල පටලය ගොඩ නගන්නට හේතු වන ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටෙරෝන් හෝර්මෝන ඩිම්බකෝෂයකින් බිත්තරයක් පිට කිරීමට ද හේතු වෙයි. එනම් ඩිම්බකෝෂයකින් පිට කරන බිත්තරයක් පැලෝපීය නාලය ලෙස හඳුන්වන තුනී නලයක් හරහා ගර්භාෂය වෙත ගමන් කරයි.

එම බිත්තරය ශුක්‍රාණු සෛලයක් සමග සංසේචනය වී ඇත්නම් එය ගර්භාෂයේ බිත්තියට සම්බන්ධ වන අතර කාලයත් සමග එය ළදරුවෙක් බවට පත් වෙයි.

එසේම එම බිත්තරය සංසේචනය නොකළහොත් ගර්භාෂයේ ශ්ලේශ්මල පටලය කැඩී රුධිරය ගැලීම සිදු වන අතර එය ඔසප් වීම ලෙස හඳුන්වයි.

එබැවින් ඔසප් කාලය කාන්තාවකට ස්වර්ණමය කාලයකි. කාන්තාවකගේ සරු භාවය, නිරෝගී භාවය තීරණය කළ හැකි සලකුණක් වන්නේ ඔසප් චක්‍රයයි. එබැවින්  ඔසප් වීම යනු සෞභාග්‍යයේ සංකේතයකි.

 ගැහැණු දරුවෙක් වැඩිවියට පැමිණෙන්නේ කුමන වයස් සීමාවක දී ද?

 බොහෝ ගැහැණු දරුවන් වයස අවුරුදු 12 පමණ වන විට වැඩි වියට පැමිණුනත් ඇතැම් විට වයස අවුරුදු 8 ත් 14 ත් අතර වයස්වල දරුවන් වැඩි වියට පැමිණීම සිදු වෙයි. නමුත් එය  දරුවන්ගෙන් දරුවන්ට වෙනස් වන අතර ආවේණික ශරීර ක්‍රියාවලියක් පවතියි

ඔසප් වීම ආරම්භ වූ පසු ජීවිත කාලයේම නොනවත්වා පවතිනවාද?

 නැත. සාමාන්‍යයයෙන් ගැහැණු දරුවෙකු ගේ ඔසප් වීම ආරම්භ වී පලමු වසර කිහිපය තුළ එහි යම් අක්‍රමවත් බවක් දැකිය හැකිය. එනම් ඔසප් වීම නොකඩවා සිදු නොවීමයි. නමුත් පලමු ඔසප් වීමෙන් පසු වසර 2 – 3 පමණ යන විට ගැහැණු ළමයෙකුගේ ඔසප් වීම සති 4 – 5 වරක් සිදු වෙයි.

එසේම ඔසප් වීම සාමාන්‍යයයෙන් දින 5 ක් පමණ පවතින අතර ඇතැම් විට එම කාල සීමාව දිගු විය හැකිය.

ඔසප් වීම කොපමණ කාලයකට වරක් සිදු වෙයි ද?

 එය සාමාන්‍යයයෙන් සති 4 – 5 වරක් සිදු වුවත් ඇතැම් ගැහැණු දරුවන්ට මෙම තත්වය වැඩි – අඩු විය හැකිය.

දරුවෙක්ට කොපමණ ප්‍රමාණයක් රුධිරය පිට වෙයි ද?

රුධිරය පිටවීමේ ක්‍රියාවලිය දරුවාගෙන් දරුවාට වෙනස් වෙයි. කෙසේ වුව ද ඔසප් වන කාල සීමාව තුළ දරුවෙකු සිය පුද්ගලික පිරිසිදු භාවය පිළිබඳව සැලකිලිමත් විය යුතු ය. රුධිරය පිට වන ප්‍රමාණය මත දිනකට 3 -6 වතාවක් සිය සනීපාරක්ෂක තුවා මාරු කිරීමට කටයුතු කළ යුතු ය.

දරුවෙකු වැඩි වියට පත් වීමට ආසන්න වන විට් ශරීරයේ සිදු වන වෙනස්කම් මොනවාද ?

  • ශරීරය උසින් සහ බරින් වැඩිවීම
  • මුහුණේ කුරුලෑ ඇතිවීම
  • කිහිලි සහ ලිංගේන්ද්‍රය අවට රෝම වර්ධනය වීම
  • යෝනි ශ්‍රාව ඇතිවීම
  • පියයුරු වර්ධනය විශාල වීම
  • උකුළ පළල් වීම
  • කලවා මහත් වීම

 වැඩිවියට පැමිණි දරුවෙකුගේ ශරීර සෞඛ්‍යය පිළිබඳව දෙමාපියන් සැලකිලිමත් විය යුත්තේ කෙසේද ?

  • දරුවාට සමබර ආහාර වේලක් ලබා දිය යුතු ය

එනම්, ප්‍රෝටීන්, විටමින්, කැල්සියම් යනාදී විටමින් අඩංගු ආහාර වේලක් මෙන්ම විටමින් සී බහුල පලතුරු ආහාරයට එකතු කරගත යුතු ය. එසේම ,

  • හිරු එළිය මගින් ලැබෙන විටමින් D ප්‍රමාණය
  • වේලාවට නින්දට යාම
  • ප්‍රමාණවත් නින්දක් ලබා ගැනීමට කටයුතු කිරීම
  • ව්‍යායාමවල නිරත වීමට කටයුතු කිරීම කළ යුතු ය.

 දියණියක් මල්වර වීම සමග ඇය තුළ සිදු වන හෝමෝන වෙනස්කම්

වැඩිවියට පත් වීමට ආසන්න වන දරුවෙකු ගේ ශරීරය වෙනස් වීමට පටන් ගනියි. එම ක්‍රියාවලියට හේතු කාරක වන්නේ ශරීරයේ සිදු වන හෝමෝන ක්‍රියාවලිය වන අතර ඇතැම් විට එම තත්වය නිසා දරුවෙකු ලජ්ජාවට පවා ලක් විය හැකිය.

එසේම මෙම හෝමෝන බලපෑම් දරුවාගේ හැසිරීම්, සිතුම් පැතුම් පවා වෙනස් කළ හැකිය. එනම්,

  • දෙමාපියන් නුරුස්නා ස්වභාවය
  • ඉක්මණින් කේන්ති ගැනීම
  • ඉක්මණින් දුකට පත් වීම

 වැනි තත්වයන් ඇති විය හැකි අතර එබඳු අවස්ථාවක එම දරුවා පිළිබඳව පහත් කොට කතා කිරීමෙන් වැළකී සිටිය යුතු ය. ඇතැම් විට එම තත්වය පූර්ව ඔසප් සින්ඩ්‍රෝමය ( Premenstrual Syndrome ) ලක්ෂණයක් විය හැකිය. එනම්

  • මනෝභාවයන් වෙනස් වීම
  • ණස්සල්ල/ කෝපය
  • තෙහෙට්ටුව හෝ නිදා ගැනීමේ අපහසුතා
  • බඩ පිපුම හෝ බඩේ වේදනාව
  • පියයුරු මෘදු මොලොක් වීම
  • හිසරදය
  • හිසකෙස් තෙල් සහිත ස්වභාවයක් ගැනීම
  • ආහාර රුචිය වෙනස් වීම

මෙබඳු තත්වයක් බොහෝ අවස්ථාවන්හි දී ඔසප් වීමෙන් දින දෙක තුනකට පසුව පහව යන නමුත් එමගින් දෛනික කාර්යයන්ට බලපෑම් ඇති කරනවා නම් ඒ සඳහා නියමිත වෛද්‍යය ප්‍රතිකාර වෙත යොමු විය යුතු ය.

ඔසප් වීමත් සමග දියණියට අවබෝධ කළයුතු විශේෂ කරුණු

  • දරුවාට ඔසප් වීම පිළිබඳව අවබොධයක් ලබා දීම

දෙමාපියන් වශයෙන් පලමුවෙන්ම සිය දරුවන් සමග මිත්‍රශීලී සබඳතාවක් පවත්වාගෙන යා යුතු ය. එනම් ඔබේ ආධිපත්‍යයයට යටත් කර ගනිමින් දරුවා සිර කිරීමට ලක් නොකළ යුතු ය. දෙමාපියන් දරුවන්ට සමීප නොවුණු විට ඔවුන් යහළුවන්ට සමීප වන්නේ එබැවින් ය.

දරුවෙකු වැඩිවියට පත් වීමට ආසන්න වන විට එම දරුවාට ඔසප් වීම සහ ඔසප් චක්‍රය පිළිබඳ නිවැරදි අවබෝධයක් ලබා දිය යුතු ය.

ඇතැම් විට ඔවුන් නොදැනුවත්ව සිදු වන රුධිර  වහනය දරුවෙකු බියට පත් වීමට පවා හේතු විය හැකිය.

  • මාසික ඔසප් වීම සඳහා සූදානම් වීමට අවශ්යය කලමනා කට්ටලයක් සකස් කර දීම

 එනම්, දරුවෙකුට ඔසප් වීම සඳහා වැදගත් වන

  • අමතර සනීපාරක්ෂක තුවා කිහිපයක්
  • වැඩිපුර යට ඇඳුම්
  • සනීපාරක්ෂක තුවා ඉවත දැමීමට අවශ්‍යය කොළ කැබලි කිහිපයක්
  • වැඩිපුර ඇඳුමක් වැනි දේවල් වේ.

 එසේම පාසලේ හෝ පොදු ස්ථානයක දී ඔසප් වීම සිදු වුවහොත් එය ක්‍රමානුකූලව බැහැර කරන ආකාරය පිළිබඳව දරුවාට අවශ්‍යය දැනුම ලබා දිය යුතු ය.

දරුවෙකු වැඩි වියට පැමිණි හේතුවෙන් එම දරුවාව ඔබේ උණුසුමෙන් ඈත් නොකරන්න. සිය පියා මෙන් ම පිරිමි සහෝදරයන් සමග නිදහසේ දුව පැන ඇවිද සෙල්ලම් කිරීමට ඉඩ දෙන්න.  

ගැහැණු දරුවෙකු ඔසප් වීම ආරම්භ  වූ වහාම ගැබ් ගත හැකි ද?

  ඔවු. ගැහැණු දරුවෙකුට ඔසප් වීම ආරම්භ වූ වහාම ගැබ් ගත හැකිය. එයට හේතු වන්නේ ගැහැණු දරුවාගේ ශරීරයේ හෝමෝන දැනටමත් ක්‍රියාකාරීව පැවතීමයි. එම හෝමෝන සහ ඩිම්බ මෝචනය ගර්භාෂයේ බිත්ති ගොඩ නැගීමට හේතු වෙයි

ඔසප් වීම හේතුවෙන් ඇතිවන ශරීරයේ වේදනාවන් සාමාන්‍යයයි ද?

 සාමාන්‍යයයෙන් උදර වේදනාව , කොන්දේ වේදනාව ඇතිවීම ඔසප් වීමේදී ඇතිවන සාමාන්‍යය තත්වයකි. නමුත් යම් දරුවෙකුට එය අසාමාන්‍ය අන්දමේ වේදනාකාරී ස්වභාවයක් ගන්නේ නම් එය වෛද්‍යය ප්‍රතිකාර කෙරෙහි යොමු විය යුතු තත්වයකි.

ඔසප් වීම සම්බන්ධයෙන්  මතු විය හැකි ගැටලු මොනවාද ?

  • වයස අවුරුදු 15 න් අනතුරුවත් ඔසප් වීම සිදු නොවීම
  • ඔසප් චක්‍රය අක්‍රමවත් වීම
  • මාසයකට වාර කිහිපයක් ඔසප් වීම
  • ප්‍රමාණය ඉක්මවා සිදු වන රුධිර වහනය
  • සතියක් ඉක්මවා අධික ලෙස රුධිර වහනය ( ඔසප්) වීම
  • පූර්ව ඔසප් සින්ඩ්‍රෝමය ( PMS) මගින් එදිනෙදා කටයුතුවලට බාධා මතු වීම

 ඉතින් මෙබඳු අවස්ථාවක ලෝකයේ ඕනෑම තැනක සිට, පැය 24 පුරාවට oDoc ඇප් එක හරහා ප්‍රසව හා නාරි වෛද්‍යයවරයෙකු සමග සම්බන්ධ විය හැකිය.

ආශ්‍රිත කියවීම්

  • දියණියගේ මල්වරවීම ගැන ඇය දැනුවත් කර තබන්නේ මෙහෙමයි, theAsianparent, lk.theasianparent.com, Niloufer Perera
  • මල්වර දිනය මංගල්‍යයක් නොකරගෙන එහි අරුත පුංචි දියනියට කියා දෙන්න, theAsianparent, lk.theasianparent.com, Nisansala Liyanage
  • මල්වර වෙන වියේ වර්ධනය: මල්වර වෙන වියේ ඉන්න දියණියගේ වර්ධනය , theAsianparent, lk.theasianparent.com, Nadeesha Lakmini
  • දියණියන් සිටින අම්මලාට , ආරෝග්‍යය, archives. dinamina.lk, Dr.Thilak Dissanayake, Dinamina
Shares

Similar Articles...

Endometriosis

Endometriosis No woman looks forward to “that time of the month.” Dealing with nausea, stomach cramps, mood swings, back pains and fatigue, all whilst facing

Read More »

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Categories
Blog Article

අනාරක්ෂිත ලිංගික සබඳතා මගින් බෝ වන රෝග ලක්ෂණ

අනාරක්ෂිත ලිංගික සබඳතා මගින් බෝ වන රෝග ලක්ෂණ

Shares

ලිංගිකව සම්ප්‍රේෂණයවන ආසාදනයන් (Sexual Transmitted Infection ) හි ප්‍රතිඵලය වන්නේ ලිංගිකව සම්ප්‍රේෂණයවන ‍රෝගයන්ට( Sexual Transmited Diseases ) මුහුණ දීමට සිදු වීමයි.

ලෝකයේ පවතින ලිංගිකව බෝ වන රෝග අතරින් ඉතා බහුල තත්වයන් ලෙස,

  • ක්ලැමීඩියා – ( Chlamydia )
  • මානව පැපිලෝමා වෛරසය – HPV
  • උපදංශය – Syphilis
  • මානව ප්‍රතිශක්තිකරණ ඌණතා වෛරසය – HIV
  • ගොනෝරියා නොහොත් සුදු බිංදුම – Gonorrhoea
  • ලිංගික උකුණන් – Public Lice
  • ට්‍රයිකොමෝනියාසිස් – Trichomoniasis
  • හර්පීස් – Genital Herpes
  • ලිංගික ඉන්නන් – Genital Warts

     දැක්විය හැකිය

ක්ලැමීඩියා – Chlamydia

 ක්ලැමීඩියා ආසාදිතයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට එය අසාදනය වන්නේ ශිෂ්ණය, යෝනිමාර්ගය, මුඛය හෝ ගුදය සම්බන්ධ කරගෙන සිදු කරන ලිංගික සබඳතා මතයි.

මේ අනුව මෙම රෝගය ව්‍යාප්ත වීමට ප්‍රධාන හේතුව වන්නේ අනාරක්ෂිත ලිංගික සබඳතායි. මෙයට අමතරව

  • කොන්ඩම් නොකඩවා භාවිත නොකිරීම
  • එක් ලිංගික සහකරුවෙකුගෙන් තවත් ලිංගික සහකරුවන් විශාල ප්‍රමාණයකට මාරු වීම  වැනි හේතු මතයි

ක්ලැමීඩියා ‍රෝගයේ පවතින අවධානම් තත්වය නම්, රෝගය මූලිකවම හඳුනාගෙන කඩිනම් ප්‍රතිකාර නොකළහොත් එවන් රෝගියෙකුට පහසුවෙන් HIV ( මානව ප්‍රතිශක්තිකරණ ඌණතා වෛරසය ) වැළඳීමේ අවධානම පවා ඇති කිරීමයි.

  • මුත්‍රා කිරීමේ දී දැවිල්ල ඇති වීම
  • දුර්ගන්ධයෙන් යුතු ශ්‍රාවයන් මුත්‍රා මාර්ගයෙන් පිට වීම
  • අසාමාන්‍යය තුවාල හෝ කැසීම
  • අසාදිත ලිංගික ප්‍රදේශය ඉදිමීම

මෙහි මූලික ලක්ෂණ ලෙස හැඳින්විය හැකිය.

 

සිෆිලිස් – උපදංශය – Syphilis

මෙම උපදංශය නමැති රෝගය ස්පිරොචෙට් ( Spirochaete) නමැති බැක්ටීරියා විශේෂය මගින් ඇති වෙයි. මෙම රෝගී තත්වය ලිංගික සබඳතා හැරුණු කොට,

  • රුධිර පාරවිලයනය හරහා ( පිටතින් රුධිරය ලබා ගැනීම)
  • දරු ප්‍රසූතියේ දී මවගෙන් දරුවාට බෝ වීම

පදනම් කරගෙන ඇති විය හැකිය.

උපදංශය ප්‍රධාන වශයෙන් කොටස් දෙකකි.

  • පෙර උපදංශමය තත්වය – Early Syphilis
  • පසු උපදංශමය තත්වය – Late Syphilis

මෙහිදී පසු උපදංශමය තත්වය යනු විදුරුමස්, ස්නායු සහ හෘද වාහිනී මගින් දක්වන තත්වයකි. මෙම උපදංශය නැමැති රෝගයේ සුවිශේෂ ලක්ෂණය නම් දුර්වල මෙන්ම ඉතා අඩු සනීපාරක්ෂක තත්වයක් යටතේ ජීවත් වන ප්‍රජාවන් තුළ ලිංගික නොවන සබඳතා මගින් ද සම්ප්‍රේෂණය වීමයි.  පෙර සදහන් කළා මෙන් රුධිර පාරවිලයනය ද මෙයට හේතු වෙයි.

නිදසුනක් ලෙස, දින පහලවකට පසුවත් එන්නත් කරන් ලද ස්ථානය තුළ තුවාලයක් දිස් වෙයි.සති හයකට හෝ අටකට පසුව දෙවන අවදිය ඇති වන අතර මෙමගින් ශරීරයේ ඕනෑම ඉන්ද්‍රියකට බලපෑම් ඇති විය හැකිය. එමෙන් ම තෙවන උපදංශමය අවදිය වසර ගණනාවකට පසුව සම, අස්ථි සහ හෘද වාහිණීවලට බලපෑම් කරයි.

ගර්භණී කාන්තාවකට උපදංශය ආසාදනය වුවහොත් එම දරුවා මරණය පත් වීමට පවා ඉඩ ඇත. මෙහි රෝග ලක්ෂණ ලෙස,

  • ඉකිලි ප්‍රදේශය ආශ්‍රිතව වසා ගැටිති ඉදීමීම
  • ලිංගේන්ද්‍රය තුළ හෝ ඒ අශ්‍රිතව අවට වේදනාවෙන් තොර තුවාල දැකිය හැකි වීම
ලිංගික උකුණන් – Public Lice

මෙම වැඩුණු උකුණෙකු ප්‍රමාණයෙන් මිලිමීටර 1.1 ත් 1.8 ත් ප්‍රමාණයෙන් යුතු වෙයි. ඇතැම් විට ලිංගික ප්‍රදේශවල රෝමවලට අමතරව ඇහි බැමි, රැවුල, පපු ප්‍රදේශයේ රෝම, කිහිලි ආශ්‍රිත රෝමවල මෙම උකුණන් ආසාදනය වෙයි.

ප්‍රධාන වශයෙන්ම මෙහි බෝ වීම සිදු වන්නේ ලිංගික සබඳතා හරහාය.

විශේෂත්වය නම් ඔබ කොන්ඩම් භාවිත කළත් මෙම උකුණන් බෝ වීම වැළැක්වීමට නොහැකි වීමයි

 ලිංගික උකුණන් බෝ වන ආකාර වශයෙන්,

  • උකුණන් අසාදනය වූ පුද්ගලයන් වැළඳ ගැනීම
  • ඇතැම් විට අසාදිත පුද්ගලයෙකුගේ ඇඳ ඇතිරිලි පරිහරණය කිරීම මගින්

අසාදනය විය හැකිය. මෙයට අමතරව ඔබට මෙවන් තත්වයක් ඇති වූ විට

  • කැසීම – මෙම තත්වය වඩාත්ම පොදු ලක්ෂණයක් වන අතර රාත්‍රියේ දී මෙම ලක්ෂණය උග්‍ර අතට හැරෙයි
  • කැසීමෙන් අනතුරුව ඔබගේ යට ඇඳුම්වල තැවරී ඇති කළු කුඩු විශේෂයක් දක්නට ලැබීම
  • ඔබගේ කලවා හෝ යටි බඩ වැනි ( උකුණන් දෂ්ඨ කිරීමෙන් අනතුරුව ඇති වන නිල් පැහැති ලප හෝ කුඩා ලේ පැල්ලම් )
ට්‍රයිකොමෝනියාසිස් – Trichomoniasis

මෙම ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගය කාර්මික රටවල මිනිසුන් අතර සුලභව පවතියි.

මෙම වෛරසය ආසාදනය වන්නේ  පුරුෂයන්ගේ මුත්‍රා මාර්ගය සහ පුරස්ථි ග්‍රන්ථය ඇසුරු කරගෙන සහ ස්ත්‍රීන්ගේ මුත්‍රා මාර්ගයේ පහල කොටස ඇසුරු කරගෙනයි.

මෙම වෛරසය ද ප්‍රධාන වශයෙන් ලිංගික සබඳතා හරහා ව්‍යාප්ත වෙයි.

  • යෝනි මාර්ගයෙන් ශ්‍රාවයක් පිට වීම
  • ගැබ් ගෙළ තුවාල
  • උදර වේදනාව මෙහි ප්‍රධාන ලක්ෂණයි

නමුත් පිරිමි පාර්ශවය තුළ මෙම රෝග ලක්ෂණ පෙන්වන්නේ සුළුවෙන් ය.

 

ඔබට ට්‍රයිකොමෝනියාසිස් ආසාදනය වී ඇත්නම් ඔබට HIV වෛරසය ශරීරයට ඇතුළු වීමට වැඩි ඉඩක් ඇත.මෙම වෛරස තත්වය කාන්තාවන් අතර බහුල රෝගී තත්වයකි. එහි රෝග ලක්ෂණ ලෙස,

  • යෝනි මාර්ගයෙන් කො, කහ හෝ අළු පැහැති ශ්‍රාවයක් පිට වීම
  • යෝනි මාර්ගයෙන් ගලන ශ්‍රාවයන්ගේ දුර්ගන්ධය
  • ලිංගික සබඳතා පවත්වන අතරතුර ඇති වන වේදනාව
  • මුත්රා කිරීමේදී මතු වන වේදනාව

එසේම පිරිමින්ට මතු වන රෝග ලක්ෂණ ලෙස,

  • ලිංගික අවයව අවට කැසීම
  • මුත්‍රා කිරීමේදී ශ්‍රාවයක් පිට වීම
  • මුත්‍රා කිරීමේදී වේදනාවක් මතු වීම

 මෙම ආසාදිත තත්වය වසර ගණනාවක් වුව ද ඔබගේ ශරීරයේ පැවතිය හැකිය.

ගොනෝරියා – Gonorrhea

සුදු බිංදුම ලෙස හඳුන්වන මෙම රෝගය Neisseria Gonorrhea බැක්ටීරියාව ආසාදනය වීම නිසා ඇති වන ලිංගික සම්ප්‍රේෂණ රෝගයකි.

මෙම බැක්ටීරියාව මගින් ගැබ් ගෙල, ගර්භාෂය සහ පැලෝපීය නාල මෙන් ම කාන්තාවන් සහ පිරිමින්ගේ මුත්‍රා මාර්ගය ආසාදනය කරයි.

එසේම මුඛය, ගුදය, උගුර සහ ඇස ආශ්‍රිත ශ්ලේශ්මල පටලවලට මෙය ආසාදනය වෙයි

 එය ලිංගික ප්‍රදේශයෙන් පිටත, උගුරේ සහ ගුද මාර්ගයේ අසාදනය වන වෛරසයකි

 ගොනෝරියා ආසාදනය වීම මවගෙන් දරුවාට ඇති වන  අතර දරුවන් බිහි කිරීමට සිටින මවු වරුන් අවධානය යොමු කළ යුතු තත්වයකි.මන්ද කුඩා දරුවාගේ සෞඛ්‍යයට ඉන් හානි කරයි.

 

එසේම ගොනෝරියා ආසාදිත රෝගීන්ට HIV ආසාදනය වීම පස් ගුණයකින් වැඩි වෙයි.එසේම එම වෛරසය මගින් කාන්තාවන් වඳ භාවයට ද පත් විය හැකිය. මෙම ගොනෝරියා තත්වය හේතුවෙන්,

  • යටි බඩ ආශ්රිත වේදනාව
  • දරුවන් අන්ධ භාවයට පත් වීම් – Conjunctivitis
  • දරුවන් ගබ්සා වීම

සිදු වෙයි.

මෙම ලිංගික රෝගයේ ලක්ෂණ ලෙස,

  • ලිංගික ප්‍රදේශයෙන් සැරවා වැනි දියරයක් ගැලීම
  • ලිංගික ප්දේශයේ අසාමාන්‍යය වෙනස් වීම්
  • ලිංගික සබඳතා පැවැත්වීමේ දී මතු වන වේදනාව
  • මුත්‍රා කිරීමේදී එන දැවිල්ල
  • ශිෂ්ණය ඍඡු වන අවස්ථාවල දී සුදු සහ කහ පැහැයට හුරු ශ්‍රාවයක් පිට වීම ( යට ඇඳුම්වල දැකිය හැකි වීම)
  • වෘෂණකෝෂවල දිමීම සහ වේදනාව

 දැක්විය හැකිය

හර්පීස් – Herpes

හර්පීස් ‍යනු ලිංගිකව සම්ප්‍රේෂණයවන පොදු රෝග තත්වයකි. මෙම හර්පීස් තත්වය ප්‍රධාන ආකාර දෙකක් ඔස්සේ දැකිය හැකිය.

  1. ලිංගික හර්පීස් – Genital Herpes
  2. මුඛ හර්පීස් – Oral Herpes

මෙම මුඛ හර්පීස් තත්වය කෙල  මාර්ගයෙන්  බෝ විය හැකිය. එමෙන් ම ලිංගික හර්පීස් තත්වය යෝනි මාර්ගයෙන්, ගුද මාර්ගයෙන් හෝ මුඛ සංසර්ගයේ යෙදීම හේතුවෙන් වැළඳිය හැකිය.

හර්පීස් තුවාල බොහෝ විට ලිංගික අවයව, ගුද මාර්ගයේ හෝ මුඛය අවට එකක් හෝ කිහිපයක් ලෙස දිස් වෙයි.හර්පීස් රෝග ලක්ෂණ ලෙස,

  • ලිංගික ප්‍රදේශවල තුවාල ඇති වීම
  • මුත්‍රා කරන විට දැවිල්ලක් ඇතිවීම දැක්විය හැකිය.
මානව පැපිලෝමා වෛරසය – HPV

මානව පැපිලෝමා වෛරසය ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණයවන ‍රෝග අතරින් වඩාත් බහුලතම වෛරසස් තත්වයකි.එම වෛරසය ද අනෙක් ඒවා මෙන් ලිංගික සබඳතා සහ මුඛ සංසර්ගය හරහා ශරීරගත වෙයි. නමුත් පොදුවේ ගත් විට යෝනි මාර්ගය සහ ගුද මාර්ගය ආශ්‍රිතව වන සබඳතා නිසා මෙම බෝවීම සිදු වෙයි.

මෙම මානව පැපිලෝමා වෛරසය ආසාදනය වූ අයෙක් සමග ලිංගිකව එක් වීමෙන් වසර ගණනාවකට පසුව ද රොග ලක්ෂණ මතු වෙයි.වෙයි.එසේම ලිංගික ඉන්නන් සහ ගැබ් ගෙල පිළිකා වැනි ගැටළු ඇති විය හැකිය.

මෙම මානව පැපිලෝමා වෛරසයෙන් ආරක්ෂා වීමට වයස අවුරුදු 11 දී හෝ 12 දී   එන්නත් කිරීම ආරම්භ කළ හැකිය. එසේම මෙම එන්නත් වයස අවුරුදු 26 දක්වා සෑම කෙනෙක්ටම එන්නත් කළ හැකිය.

මේ පිළිබඳ අපි නිකුත් කර ඇතිව ගැබ්ගෙල පිළිකා ලිපිය කියවීමෙන් මෙම මානව පැපිලෝමා වෛරසය පිළිබඳව වැඩිදුර තොරතුරු ලබා ගත හැකිය.

ලිංගික ඉන්නන් – Genital Warts

මෙම ලිංගික ඉන්නන් ඇතිවීම මානව පැපිලෝමා වෛරසයේ අතුරු ප්‍රතිඵලයකි. මෙම තත්වය පිරිමි සහ ගැහැනු දෙපාර්ශවයේම අතර පවතින අතර මෙහි ආසාදනය වීම් උග්‍ර ලෙස පවතින්නේ කාන්තා පාර්ශවය අතරයි. ලිංගික ඉන්නන් තත්වය සුව කළ හැකි වුවත් සුව කරන අතර වාරයේ දී පවා ලිංගික ඉන්නන් තත්වය මතු විය හැකිය

ලිංගික ඉන්නන් යනු ලිංගික අවයව මත ඇති වන මෘදු වර්ධකයකි. මෙම තත්වය නිසා අසාමාන්‍යය වේදනාව මෙන් ම අසාමාන්‍යය කැසීම ඇති විය හැකිය. මානව පැපිලෝමා වෛරසය ආසාදනය හේතුවෙන් මෙම තත්වය ගැබ්ගෙල පිලිකා තත්වයක් පවා ඇති කළ හැකිය.

මෙම ඉන්නන් විශේෂය වර්ධනය වන්නේ මුඛ, ගුද, සහ යෝනි මාර්ගය ආශ්‍රිත ලිංගික ක්‍රියාවන් සිදු කිරීම මගින් ය.

ලිංගික ඉන්නන් මිනිස් ඇසට නොපෙනෙන අතර සමේ වර්ණය මෙන් තරමක් තද පැහැයක් ගනියි. එහි වර්ධනයේ මුදුන වට්ටක්කා ගෙඩියකට සමාන විය හැකි අතර ස්පර්ශ කර බලන විට තරමක් සිනිඳු ගැටිති ස්වභාවයක් දැනෙයි. ඔවුන් ඉන්නන් පොකුරක් ලෙසින් වර්ධනය විය හැකි ය.

පිරිමි පාර්ශවය අතර නම් ලිංගික ඉන්නන් ඇති වන්නේ,

  • ශිෂ්ණය
  • වෘෂණ කෝෂ
  • ඉඟටිය
  • කලවා
  • ගුදය හෝ ඒ අශ්‍රිතවයි

කාන්තාවන්ට නම් යෝනි මාර්ගය ආශ්‍රිතව හෝ ගුදය ඇතුළත, ඇතැම් විට ගැබ්ගෙල මත ද ආසාදනය විය හැකිය.

යම් පුද්ගලයෙකුට ලිංගික ඉන්නන් පවතින බවට ලක්ෂණ ලෙස,

  • ලිංගික ප්‍රදේශය කැසීම
  • ලේ ගැලීම
  • වේදනාකාරී දැවිල්ලක් ඇතිවීම සිදු වෙයි

එසේම යම් අයෙකු

  • දුම්පානයට ඇබ්බැහි වීම
  • දුර්වල ප්‍රතිශක්තිකරණ පද්ධතියක් තිබීම
  • කුඩා කාලයේ දී සිදු වූ අතවරයන්

පවා හේතු විය හැකිය.

කාන්තාවන්ට මෙම ඉන්නන් පරීක්ෂා කිරීම පැප් පරීක්ෂාව හරහා සිදු කළ හැකිය.

 

HIV – මානව ප්‍රතිශක්තිකරණ ඌණතා වෛරසය

HIV යනු, මානව ප්‍රතිශක්තිකරණ ඌණතා වෛරසයයි. එනම් මෙම ලිංගික සම්ප්‍රේෂණ වෛරසය මානව ප්‍රතිශක්තිකරණ පද්ධතියට පහර දෙන වෛරසයකි.මෙම HIV වෛරසය සඳහා ප්‍රතිකාර නොකළහොත් එය AIDS ( ප්‍රතිශක්තිකරණ ඌණතා සින්ඩ්‍රෝමය ඇති විය හැකිය.

මෙම HIV වෛරසය ආසාදනය වන ආකාර පිළිබඳ නිවැරදි අවබෝධයකින් කටයුතු කළ හොත් එය වලක්වා ගත හැකිය.

HIV ආසාදිත ලක්ෂණ

ඇතැම් පුද්ගලයන්ට ආසාදනය වී සති 2 සිට සති 4 දක්වා කාලය තුළ උණ වැනි රෝග ලක්ෂණ පවතියි.මෙම රෝග ලක්ෂණ දින කිහිපයක් හෝ සති කිහිපයක් පැවතිය හැකිය.

  • උණ
  • දැවිල්ල
  • දද
  • ශරීරයේ සම මතුපිට වේදනාව
  • උගුරේ ආසාදනය
  • රාත්‍රියේ දහදිය දැමීම
  • තෙහෙට්ටුව
  • ඉදිමුණු වසා ගැටිති
  • උගුරේ ආසාදන

HIV වෛරසය ආසාදනය වීම ආකාර කිහිපයකට සිදු වෙයි

  • ආසාදිත මවක් දරුවෙකු ප්‍රසූත් කළ විට එම දරුවාට
  • අනාරක්ෂිත ලිංගික සබඳතා
  • රුධිර පාරවිලයනය
  • මත්ද්‍රව්‍යය භාවිතය
  • පච්ච කෙටීම

බොහෝ විට අවුරුදු 8 ත් 10 ත් වන තුරු රෝග ලක්ෂණ මතු නොවේ. එම රෝග ලක්ෂණ ලෙස

  • කෙටි කාලෙක දී ශරීරයේ බර අඩු වීම
  • දිගු කාලීන පාචනය
  • මාසෙකට වැඩි කාලයක් පවතින උණ
  • ක්ෂය රෝගය
  • නිවුමෝනියාව
  • බෙල්ලේ සහ කිහිලි යට වසා ගැටිති ඉදිමීම
  • මුඛ ආසාදන
  • ආහාර අරුචිය

දැකිය හැකිය.

මෙම වෛරසය

  • පිරිමියෙකුගේ ශුක්‍ර තරලවල
  • කාන්තාවන්ගේ ගැබ් ගෙල ආශ්‍රිතව
  • යෝනි ශ්‍රාවවල
  • මවුකිරිවල පවතියි

නමුත් සිප ගැනීම, අතට අත දීම, කිවිසුම් යාමේදී පිට වන කෙල, එකම වැසිකිළිය භාවිතය මගින් මෙම වෛරසය ආසාදනය නොවෙයි.

මෙවන් තත්වයන් වලක්වා ගැනීමට කල් තියා ඔබට ආරක්ෂාකාරී විය හැකිය.

  • රබර් කොන්ඩම් භාවිතය
  • ලිංගික සබඳතා එක් සහකරුවෙකුට පමණක් සීමා කිරීම
  • ලිංගාශ්‍රිත රෝග පවතින විට නිසි ප්‍රතිකාර ලබා ගැනීම

යන ආරක්ෂක උපක්‍රම අනුගමනය කළ හැකිය.

මෙවන් තත්වයකට මුහුණ දුන් පුද්ගලයා විශාල පීඩනයකට පත් වෙයි. එය කායික මෙන්ම මානසික පීඩනයකි. වෛද්‍යවරයෙකු හමු වී රෝගය පරීක්ෂා කර ගැනීමට යාමට සිදු වීම නිසා බොහෝ අවස්ථාවන්වල එම රෝගය සඟවා ගනිමින් ජීවත් වීමට ආසාදිත පුද්ගලයන් කටයුතු කරයි.

යම් අවස්ථාවක ඔබත් මෙවන් තත්වයකට මුහුණ දෙන්නේ නම්, oDoc අපගේ ලිංගාශ්‍රිත රෝග විශේෂඥ වෛද්‍යයවරයෙකු මගින් නිවසේ සිටම, රහසිගතව පරීක්ෂා කර ගැනීමේ හැකියාව පැය විසි හතර පුරාවටම ඔබ වෙනුවෙන් ලබා දෙනු ඇත.

ODoc අපි ඔබ සමග නිරන්තරයෙන්

ආශ්‍රිත ග්‍රන්ථ 

  1. National STD/AIDS Control Programme – Sri Lanka
  2. National Health Service ( NHS ) – England
  3. Sexually Transmited Diseases & Infections ( STD & STIs ), Cleveland Clinic, Ohio, my.clevelandclinic.org
  4. Center for Disease Control and Prevention ( CDC ), USA.gov
  5. STD Information, Multi – drug resistant gonorrhea, WHO
  6. Pan American Health Organization, PAHO, USA
  7. Global Information and Education on HIV and AIDS, avert.org
  8. Sexually Transmited Infections ( STIs ), WHO
Shares

Similar Articles...

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Categories
Blog Article

පියයුරු පිළිකාව යනු කුමක්ද?

පියයුරු පිළිකාව යනු කුමක්ද?

Shares
පියයුරු පිළිකාව කාන්තාවන් මෙන් ම පුරුෂයන් අතර පොදුවේ ඇති වන පිළිකා තත්වයක් වන නමුත් කාන්තාවන් අතර බහුලව ඇතිවන තත්වය කි. බොහෝ විට වයස අවුරුදු 40 ට වැඩි ස්ත්‍රීන් අතර මෙම පිළිකා විශේෂය වර්ධනය වන බවට ලෝක සෞඛ්‍යය සංවිධානය දක්වා ඇත. මේ අනුව කාන්තාවන් අතර බහුලවම පවතින පිළිකා විශේෂයක් වශයෙන් පියයුරු පිළිකාව හැඳින්විය හැකි වුවත් මෙය පිරිමි පාර්ශවය අතර ද බහුලව පවතින පිළිකා විශේෂය කි. 2020 වසර වන විට ලෝකයේ ජීවත් වන කාන්තාවන් ගෙන් මිලියන 2.3 කට පියයුරු පිළිකා වැළඳී ඇති අතර එ මගින් ගෝලීය වශයෙන් මරණ 685,000 ක් පමණ සිදු වී ඇත.

යම් පුද්ගලයෙකු පියයුරු පිළිකාවකට ගොදුරු වී ඇති බව දැනගැනීමට ශරීරයේ බාහිරව ඇතිවන යම් යම් වෙනස්කම් හේතු වෙයි. ඒවා නම්,

  • පියයුරුවල හැඩයේ වෙනස්කම් සිදු වීම
  • පියයුරු මතුපිට වල ගැසීම
  • පියයුරුවල එහා මෙහා නොයන ( වේදනාකාරී නොවූ ගැටිත්තක් හෝ ඝන වීමක් දක්නට ලැබීම
  • පියයුරු මතුපිට සමේ වර්ණය වෙනස් වීම
  • පියයුරු මතුපිට සම දොඩම් ලෙල්ලක ස්වභාවයක් ගැනීම
  • පියයුරු මතු පිට දදයක් හෝ තුවාලයක් ඇතිවීම
  • තනපුඩුවලින් ලේ හෝ සැරව සහිත දුර්ගන්ධයකින් යුතු ශ්‍රාවයන් පිට වීම
  • පියයුරු අසාමාන්‍ය ලෙස ඉදිමීම හෝ වේදනාකාරී වීම
  • කිහිල්ල ඉහලින් හෝ පහලින් ගැටිතිමය ස්වභාවයක් දැකිය හැකි වීම

ආදී දේවල් වෙයි. නමුත් මානව පැපිලෝමා වෛරසය ආසාදනය වීමෙන් (HPV) ඇතිවන ගැබ්ගෙල පිළිකා මෙන් නොව පියයුරු පිළිකාවල වර්ධනයට සම්බන්ධ බැක්ටීරියාවන් හෝ වෛරස ආසාදන නොමැත. සැබැවින්ම පියයුරු පිළිකාවක් හට ගැනීමට බලපවත්වන හේතු මොනවාද ?

  • ජාතික පිළිකා මර්දන ආයතනයට අනුව පියයුරු පිළිකා ඇතිවීමට බලපාන ප්‍රධාන හේතුව කාන්තාවක් වීමයි. කාන්තාවන්ට පියයුරු පිළිකා ඇතිවීමේ අවදානම පිරිමින්ට වඩා සිය ගුණයකින් වැඩිය. කාන්තාවන් සහ පිරිමි අතර පියයුරු පිළිකා අවධානම 100 : 1 කි.
  • වයස්ගත වීම සමග වැඩිවන පියයුරු පිළිකා අවධානම.
  • පරම්පරා ගතව උරුම වන ජානමය තත්වයන් මත 5% හෝ 10% අතරේ ඇතිවන පියයුරු පිළිකාවලට ජානමය හේතු බලපායි. මෙම ජාන BRCA1,BRCA2,tp53 ලෙස හඳුන්වයි
  • යම් අයෙකුගේ පවුලේ ඉතිහාසය මත ඇතිවන ඩිම්බකෝෂ පිළිකා වැනි තත්වයන්
  • ඔසප් චක්‍රයේ වෙනස් කම් නිසා සිදුවන අඩු වයසින් වැඩිවියට පත් වීම ( වයස අවුරුදු 12 පෙර) හෝ ආර්තවහරණය පමා වීම ( අවුරුදු 55 වන තුරු)
  • පලමු දරු ප්‍රසූතිය වයස 30 පසුව සිදු වූ කාන්තාවන්
  • දරුවන් නොමැති කාන්තාවන්
  • මවු කිරි ලබා නොදීම
  • දීර්ඝ කාලීනව උපත් පාලන පෙති ලබා ගත් කාන්තාවන්
  • තරබාරු බව – ආර්තවහරණය ( ඔසප් වීම නැවතුණ පසුව) මත තරබාරු වන කාන්තාවන්
  • මධ්‍යසාර භාවිතය
  • විකිරණ සඳහා නිරාවරණය වූ කාන්තාවන් එනම් පූර්ව පිළිකා තත්වයන්වල දී විකිරණ ප්‍රතිකර්මවලට නිරාවරණය වූ කාන්තාවන්
  • මින් පෙර පියයුරුවල රෝගී තත්වයන් පැවති කාන්තාවන් ( පියයුරු පිළිකා වැළඳී තිබුණු )

පියයුරු පිළිකාවක් කලින් හඳුනා ගැනීම තුළින් එ මගින් ඇති වන අවදානම් තත්වය මගහරවා ගත හැකි ය. ජාතික පිළිකා මර්දන ඒකකය සඳහන් කරන පරිදි

  1. ස්වයං පියයුරු පරීක්ෂාව
  2. සායනික පියයුරු පරීක්ෂාව ( පුහුණු සෞඛ්‍යය නිලධාරියෙකු විසින් සිදු කරන පියයුරු පරීක්ෂාව )
  3. මැමෝග්‍රැෆි ( Mammography) , අති ධ්වනි තරංග පරීක්ෂාව ( Ultra Sound)

විශේෂ ස්ථානයක් ගනි යි. ස්වයං පියයුරු පරීක්ෂාව සිදු කිරීම ඔසප් වීමෙන් සතියකට පසුව සිදු කිරීම වඩාත් සුදුසු වෙයි. මේ සඳහා තමාට සුදුසු ස්ථානයක් තෝරාගෙන සිදු කළ හැකි ය. මෙම අවස්ථාවන්හිදී ගැටිත්තක ස්වභාවයක් ගත හොත් වහාම වෛද්‍යවරයෙකුගේ උපදෙස් ලබා ගත යුතුය. එමෙන් ම පියයුරුවල ඇති වන සෑම ගැටිති තත්වයක්ම පිළිකා ස්වභාවයක් නොවේ.
සායනික පියයුරු පරීක්ෂාව අවුරුදු 20 ත් 40 ත් අතර කාන්තාවන් සෑම වසර තුනකට වරක් සිදු කළ යුතු ය. අවුරුදු 40 ට වැඩි කාන්තාවක් නම් සෑම වසර එකකට වරක් ද අවුරුදු 40 ට පෙර වයසේ පිළිකා වැළඳුණු ලේ ඥාතීන් ඇත්නම් වසරකට වරක් ද පරීක්ෂා කිරීම සුදුසු ය. මේ සඳහා ඕනෑම රජයේ රෝහලක්, සුවනාරී සායනයක්, පෞද්ගලික රෝහලක් හෝ පිළිකා කලින් හඳුනා ගැනීමේ සායනයට ( ජාතික පිළිකා මර්දන වැඩසටහන, නාරාහේන්පිට ) යොමු වීම සුදුසු ය.
මැමෝග්‍රැෆි ( Mammography) පරීක්ෂණය X කිරණ සුළු ප්‍රමාණයක් යොදාගෙන සිදු කරයි.

පියයුරු පිළිකාවක් ඇති වූ අයෙකුට එම තත්වයෙන් මිදීමට සිදු කළ හැකි පිළියම් වශයෙන් ශල්‍යකර්මයක් මගින් අදාළ පිළිකා තත්වය ඇති වූ පියයුර ඉවත් කිරීම, විකිරණ ප්‍රතිකර්ම, ඖෂධ, හෝමෝන චිකිත්සාව, රසායනික චිකිත්සාව හෝ වෙනත් ජීව විද්‍යාත්මක ප්‍රතිකාර සිදු කළ හැකි ය.

  • මෙබඳු පිළිකා තත්වයකින් මිදීමට නම් ඔබගේ ශරීරය පූර්ව සූදානමින් තැබීම වැදගත් වෙයි. එනම්,
    දිගු කිරි දීම
  • ව්‍යායාම සිදු කිරීම
  • ශරීරයේ බර පාලනය කිරීම
  • මත්පැන්/ මත්ද්‍රව්‍යය භාවිතයෙන් වැළකීම
  • දුම්වැටි දුම්කොළවලට නිරාවරණය වීම වැළැක්වීම
  • අනවශ්‍ය ලෙස හෝර්මෝන ශරීරයට භාවිත කිරීම වැළැක්වීම
  • අධිකව විකිරණවලට නිරාවරණය වීම වැළැක්වීම

වැනි දේවල් පිළිබඳ අවධානය යොමු කළ යුතු ය. පෝෂ්‍යදායී ආහාර රටාවක් මගින් ශරීරයේ අවධානම් තත්වයන් මග හරවා ගත හැකි ය. දිවට රසයක් ගෙනෙන සියල්ල ශරීරයට ගුණාත්මක නොවේ. මෙය ජීවිතය තුළ ඔබට ඇතිවන සියලු ගැටලුවලින් මිදීමට ඇති සර්වකාලීන පදනමයි.
අවසාන වශයෙන් පිළිකාව කුමන අයුරින් හට ගත්ත ද එය එම පුද්ගලයාටත් සමීපතමයන්ටත් වේදනාවක් ඇති කරයි. නමුත් ජීවිතයේ කුමන හෝ අවස්ථාවක ඔබ පිළිකා රෝගියෙකු බව හඳුනාගත හොත් ඔබ විසින් අවබෝධ කර ගත යුතු විශේෂ දෙයක් ඇත. එනම් ඔබ තුළ පවත්වා ගත යුතු නොසෙල්වෙන ආත්ම විශ්වාසයයි.ඔබේ ආත්ම විශ්වාසටත් ධනාත්මක සිතුවිලිවලටත් සුව කළ නොහැකි කිසිවක් නැත. ආත්ම විශ්වාසයෙන් ජීවිතයේ අභියෝගවලට මුහුණ දෙන්න. ජීවිතය ජය ගන්න.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

1. Cancer, WHO
2. Breast Cancer, WHO
3. පියයුරු පිළිකාව කලින් හඳුනා ගැනීම, ජාතික පිළිකා මර්දන වැඩසටහන, සෞඛ්‍යය, පෝෂණ සහ දේශීය වෛද්‍ය අමාත්‍යාංශය
4. ජාතික පිළිකා මර්දන වැඩසටහන, සෞඛ්‍යය අමාත්‍යාංශය, 2012, පියයුරු පිළිකා කලින් හඳුනා ගැනීමේ අත් පොත.
5. පියයුරු පිළිකාවකට තුඩු දිය හැකි රෝග ලක්ෂණ 12 ක්, BBC සිංහල , 21 ඔක්තෝබර් 2017

Shares

Similar Articles...

Endometriosis

Endometriosis No woman looks forward to “that time of the month.” Dealing with nausea, stomach cramps, mood swings, back pains and fatigue, all whilst facing

Read More »

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Categories
Blog Article

අනාරක්ෂිත ලිංගික සබඳතා නිසා ඇති වන "ගැබ්ගෙල පිළිකා"

අනාරක්ෂිත ලිංගික සබඳතා නිසා ඇති වන "ගැබ්ගෙල පිළිකා"

Shares

මානව පැපිලෝමා වෛරසය ( Human Papilloma Virus ) ආසාදනය වීම හේතුවෙන් කාන්තාවන්ට ගැබ්ගෙල පිළිකා තත්වය ඇති විය හැකි ය. ලෝක සෞඛ්‍යය සංවිධානය ඇස්තමේන්තු කර ඇති පරිදි ලොව පුරා කාන්තාවන් 570,000 ක් දෙනා ගැබ්ගෙල පිළිකාවෙන් පෙළෙන අතර එම හේතුවෙන් මේ වන විට කාන්තාවන් 311,000 පමණ මිය ගොස් ඇත.

මෙම මානව පැපිලෝමා වෛරසය අධි අවධානම් වෛරසයක් වන අතර එම වෛරසය දිගින් දිගටම ආසාදනය වීම පිළිකා තත්වයක් කරා ගමන් කරයි. ගැබ්ගෙල පිළිකා රෝගීන් ගෙන් 99% කටම මෙම රෝගය සම්ප්‍රේෂණය වී ඇත්තේ ලිංගික සබඳතා මුල් කරගෙනයි.

ගර්භාෂයක පහතින්ම පිහිටා ඇති කොටස ගැබ්ගෙල යි. මෙම කොටස සෙන්ටිමීටර දෙකකින් පමණ දිගින් යුක්ත වෙයි. එය යෝනි මාර්ගය හරහා ගර්භාෂයේ ඉහළ කොටසට සම්බන්ධ වන තැන ලෙස හැඳින්විය හැකි ය. ලිංගික සංසර්ගයේ දී එක් පුද්ගලයෙකුගෙන් තවත් පුද්ගලයෙකුට මානව පැපිලෝමා වෛරසය ආසාදනය වන නමුත් කාන්තාවන් ස්වල්ප දෙනෙකුට ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම පෙන්වයි.

ලෝක සෞඛ්‍යය සංවිධානය දක්වන ආකාරයට 2018 වර්ෂයේදී සිදු වූ ගැබ්ගෙල පිළිකා මරණවලින් 90% කට ආසන්න ප්‍රමාණයක් සිදු වී ඇත්තේ අඩු හා මධ්‍ය ආදායම් ලබන රටවල්වල ‍යි. 2018 මැයි මාසයේ දී ලෝක සෞඛ්‍යය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ගැබ්ගෙල පිළිකාව තුරන් කිරීම සඳහා ගෝලීය කැඳවීමක් නිකුත් කරන ලදී. එමගින් සියලුදෙනා මෙම ගැබ්ගෙල පිළිකා මර්දනයට සහය විය යුතු බවට අවධාරණය කර ඇත. එහි ප්‍රතිථලයක් වශයෙන් 2020 අගෝස්තු මාසයේ දී ලෝක සෞඛ්‍යය සංවිධානය ගැබ්ගෙල පිළිකා තුරන් කිරීමේ ගෝලීය උපාය මාර්ගය සම්මත කළේය.

ගැබ්ගෙල පිළිකා ඇතිවීමට හේතු මොනවාද?

  • පළමු ගැබ් ගැනීම අඩු වයසින් සිදුවීම
  • පළමු ලිංගික එක්වීම අඩු වයසින් සිදු වීම ( වයස 16 ට අඩුවෙන් )
  • ඉතාමත් දිගු කාලයක් උපත් පාලන පෙති භාවිත කිරීම
  • කාන්තාවන් මත්ද්‍රව්‍ය සහ මත්පැන් අධික ලෙස භාවිත කිරීම
  • ලිංගාශ්‍රිතව සම්ප්‍රේෂණය වන රෝගවලින් පීඩා විඳීම ( Sexual Transmitted Diseases )
  • ලිංගික සහකරුවන් හෝ සහකාරියන් විශාල ප්‍රමාණයක් ඇසුරු කිරීම
  • දරු උපත් වාර ගණන වැඩි වීමත් සමග දරු උපත් අතර පරතරය අවම වීම

ලෝක සෞඛ්‍යය සංවිධානයට අනුව ගැබ්ගෙල පිළිකාව කල් තියා හඳුනා ගැනීමෙන් ඉතා සාර්ථකව සුව කළ හැකි රෝග විශේෂයකි. ඇතැම්විට ගැබ්ගෙල පිළිකාව ප්‍රමාද වී හඳුනාගත්ත ද එයට සුදුසු රසායනික සහ විකිරණ චිකිත්සාවන් මගින් සුව කළ හැකිය. 2018 වර්ෂයේ දී ගැබ්ගෙල පිළිකා පැවති ප්‍රධාන රටවල් 20 අතරින් ‘අප්‍රිකාව’ ඉහල අගයක් ගන්නා ලදි යි. එසේම ලෝකයේ දුප්පත් රටවල ජීවත්වන කාන්තාවන් අතරින් ගැබ්ගෙල පිළිකා පවතින කාන්තාවන් දස දෙනෙකුගෙන් නව දෙනෙකුම මෙම රෝගය නිසා මරණයට පත් වෙයි.

ගැබ්ගෙල පිළිකාව කල්තියා හඳුනාගත හැකි ලක්ෂණ

  • යටි බඩ ආශ්‍රිත වේදනාව
  • ඉතාමත් දුර්ගන්ධයකින් යුතු යෝනි ශ්‍රාවයන් පිට වීම
  • ලිංගික එක්වීමක් අතරතුර සහ ලිංගික එක්වීමකින් අනතුරුව සිදුවන රුධිර වහනය
  • මුත්‍රා මාර්ගය සහ ඒ අවට සිදුවන රුධිර වහනය
  • මුත්‍රා පිට වීමේ වාර ගණන වැඩි වීම
  • මලපහ සමග රුධිරය පිට වීම
  • ගුඳ මාර්ගය ආශ්‍රිතව ඇතිවන වේදනාව
  • ශරීරයේ බර අසාමාන්‍යය ලෙස පහත වැටීම
  • ශරීරය සුදුමැලි වීම
  • නිතර ඇතිවන තෙහෙට්ටුව

ගැබ්ගෙල පිළිකාව වළක්වා ගන්නේ කෙසේද?

  • වයස අවුරුදු 15 දී වත් HPV ( මානව පැපිලෝමා වෛරසය) එන්නත ලබා ගැනීමට යොමු වීම
  • ලිංගික සහ ප්‍රජනක සෞඛ්‍යය පිලිබඳව දරුවන්ව නිසි වයසේ දී දැනුවත් කිරීම
  • අනාරක්ෂිත ලිංගික හැසිරීම් නැවැත්වීමට කටයුතු කිරීම
  • යොවුන්වියේ ගැහැනු ළමුන් සහ පිරිමි ළමුන් සෞඛ්‍යය සම්පන්න ජීවන රටාවන්ට යොමු කිරීම
  • ලිංගික සහකරුවන් ප්‍රමාණය සීමා කිරීම
  • ලිංගික සබඳතාවල දී කොන්ඩම් වැනි ආරක්ෂිත ක්‍රම භාවිත කිරීම
  • බොහෝ ලිංගික සහකරුවන් හෝ සහකාරියන් ප්‍රමාණයක් ඇසුරු කරන පුද්ගලයන් සමග ලිංගික සබඳතා නැවැත්වීම
  • ලිංගික ඉන්නන් හෝ වෙනත් ලිංගාශ්‍රිත රෝග ලක්ෂණ පෙන්නුම් කරන පුද්ගලයන් සමග ලිංගික සබඳතාවලින් වැළකී සිටීම
  • කාන්තාවන් අවුරුදු 35 පසු වන විට පැප් පරීක්ෂණය ( Pap Test ) සිදු කිරීම සඳහා වසර 5 කට වරක් කාන්තා සායනවලට යොමු වීම
  • රෝගී තත්වයන් හඳුනා ගත් විගස ප්‍රතිකාර සඳහා යොමු වීම

එසේම දිනපතා සිය ආහාර වේල සඳහා එකතු කර ගන්නා දේවල් මගින් මෙම පිළිකා තත්වයට එරෙහි ප්‍රතිශක්තිකරණයක් ශරීරය තුළ ක්‍රියාත්මක කරයි. නිදසුනක් ලෙස බතල, ගස්ලබු, දොඩම්, තක්කාලි සහ දිනපතා කාබනික එළවළු සහ පලතුරු ආහාරයට ගැනීම, රටකජු, මුංඇට, කළු කවුපි මෙන් ම ඔලිවු තෙල්, මාළු වැනි ආහාර ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් කරයි.

අවසාන වශයෙන් අප සිහි තබා ගත යුත්තේ අපගේ ශරීරය අපගේ සියලුම හැඟීම් පිනවීමට භාවිත කිරීමේ ඇති භයානක බවයි. සෑම සබඳතාවක්ම ඉතා ආරක්ෂාකාරීව මෙන් ම වඩාත් ගෞරවාන්විතව සිදු කිරීමට යොමු වන්න. අනාගතයේ ඇති විය හැකි අනතුරු අවම කර ගැනීමට ඔබ වෙනුවෙන් ඔබගේ දායකත්වය ලබා දෙන්න.

ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය

  1. Cervical Cancer Elimination Initiative Knowledge Respository, WHO
  2. Global Cancer Observatory: Burden of Cervical Cancer by country , WHO
  3. Global Health Observatory data: Death rate for Noncommunicable Diseases ( NCDs)
  4. Data Portal on Global Statergy for Women’s Children’s and Adolescent’s Health ( 2016 – 2030 ), WHO
  5. WHO Guideline for screening and treatment of cervical Pre – Cancer lessons for cervical cancer prevention, second edition, WHO
  6. Implementation of Post – market surveillance in Cervical Cancer Programmes, WHO
  7. Cervical Cancer, Basic information, CDC, USA.gov
  8. කුමක්ද? මේ ගැබ්ගෙල පිළිකාව නොහොත් Carcinoma of Carvix? mydoctor.lk, DR.H. Vithana ( M.B.B.S)
Shares

Similar Articles...

Endometriosis

Endometriosis No woman looks forward to “that time of the month.” Dealing with nausea, stomach cramps, mood swings, back pains and fatigue, all whilst facing

Read More »

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog