Categories
Blog Article

ඔබටත් තුනටියෙන් පහළ ඉවසීමට නොහැකි වේදනාවක් තිබේද?

ඔබටත් තුනටියෙන් පහළ ඉවසීමට නොහැකි වේදනාවක් තිබේද?

තුනටිය ප්රදේශයෙන් පටන් ගෙන කකුල් වල පිටුපස ප්රදේශය දිගේ පහලට මහපටැඟිල්ල දක්වා පවතින වේදනාවකින් ඔබත් පීඩා විඳ ඇත්නම් හෝ එම රෝගයෙන් දැනටමත් ඔබ පීඩා විඳිනවානම් මෙම ලිපිය ඔබට ඉතාමත් වැදගත් වන බව නොඅනුමානයි.
කොඳු ඇටපෙළ ආශ්රිතව ඇතිවන රෝග අතරින් ප්රධානතම රෝගයක් ලෙස මෙම රෝග තත්වය හැඳින්විය හැකිය. මෙහිදී රෝගියාගේ කොඳු ඇට පෙළෙහි පහල ප්රදේශයෙන් ආරම්භවන වේදනාව පාද වල වළලුකර හෝ ඇඟිලි දක්වාම ගමන් කිරීම සිදුවේ. ඇතැම් විට මෙම වේදනාව ඉතා තීව්ර වන අතර රෝගියා ඉමහත් අපහසුතාවයකට පත්වේ.
මෙම රෝග තත්වය ආයුර්වේදයේ ගෘධ්රසිලෙස හඳුන්වයි. එලෙස හැදින්වීමට හේතුව වනුයේ මෙම රෝග තත්වයෙන් පෙලෙන රෝගියාගේ ගමන ගිජුලිහිණියෙකුගේ ගමන් විලාශයට සමාන වන හෙයිනි.
මෙහෙදී සිදුවන්නේ කොඳු ඇට පෙළෙහි පහල ප්රදේශයෙන් ආරම්භ වන පාද වලට ස්නායු සැපයුම සිදු කරන සයටික් ස්නායුව (Sciatic Nerve) තෙරපීමකට ලක් වීමයි. මෙම රෝගයට නිවැරදිව ප්රතිකාර නොකිරීම නිසා පසුකාලීනව පාද ආශ්රිත හිරිය වැනි තත්ව ද ඇතිවීමට හැකිය.
ගෘධ්රසි රෝගී තත්වය බටහිර Sciatica යන රෝගී තත්වයට බොහෝ සෙයින් සමාන ලක්ෂණ පෙන්නුම් කරයි.

මෙම රෝග තත්වය ඇතිවීමට හේතු

  • බොහෝ වේලාවක් සිටගෙන සිටීම
  • බොහෝ දුර පයින් ගමන් කිරීම
  • ගැස්සෙන වාහනවල නිතර ගමන් කිරීම
    උදා:- යතුරු පැදි, ත්රී රෝද රථ ආදී
  • අධික වෙහෙසකර ශාරීරික ව්යායාම වල නිරතවීම
  • අධික ලෙස බර වැඩ වල නිරත වීම 
  • වැරදි ඉරියව් (එකම ඉරියව්වකින් බොහෝ වේලාවක් සිටීමද හේතු වේ)
  • හදිසි අනතුරු.(වැටීම, කොන්ද ප්රදේශයට තද පහරක් වැදීම වැනි)
  • වයස්ගත වීමත් සමඟ ඇතිවන අස්ථි ගෙවීම් (Degenerative Diseases )
  • කොඳු ඇට පෙළ ආශ්රිත ශල්ය කර්මයකින් පසු
  • දරු ප්රසූතියකට පසු
  • සමහර පිළිකා තත්ත්ව (Malignant or Benign Tumor)
  • පෝෂ්යදායක ආහාර නොගැනීම
  • සවස් කාලයේ සිසිල් ජලය ස්නානය කිරීම
  • වෙනත් රෝග තත්ව ( osteoporosis)

මේ හේතු නිසා

  •  කශේරුකාවේ අන්තර් කශේරැකා මඬල (කශේරුකා දෙකක් අතර ඇති කොටස) පිටතට නෙරා යාම (intervertibral disc prolapse) හේතුවෙන් ස්නායු තෙරපීමක් ඇතිවිය හැක. මෙමඟින් ස්නායු ගමන් කරනා මාර්ගයේ යම් පීඩනයක් ඇතිවිය හැක.
  • ස්නායු ගමන් ගන්නා මාර්ගයේ ඇති මාංශපේශිවලට යම් හානියක් සිදුවීමෙන්ද මෙම ස්ථානය පටුවීමක් සිදුව මෙම රෝග තත්ත්වය ඇතිවිය හැක.
  • Sciatic nerve තෙරපීමෙන් (දනහිස නැවීමකින් තොරව කොන්ද නමා බර එසවීමෙන් කටී කශේරුකා වල ඇතිවන වෙනස්කම් නිසා sciatic nerve තෙරපීමෙන්), ස්නායුව ඇදීමෙන් මෙය ඇති විය හැක.
  • කශේරුකා අවහන්දි (dislocation) වීමෙන්.
  • Sciatic nerve හා එහි මූලයන් ආඝාත වීම වැනි හේතු නිසාත්.
  • ස්නායු දිරාපත් වීම වැනි හේතු නිසාද මෙම රෝගී තත්වය ඇති විය හැකියි.
තුනටිය වේදනාව

මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ

  • වේදනාව කටී ( තුනටිය ) ප්රදේශයෙන් ආරම්භ වී තට්ටම්, කලවා, බත් කෙණ්ඩා හරහා පාද ඇඟිලි දක්වා පැතිරේ.
  • පාද වල තද බවක් ඇති වේ.
  • වරින් වර පාද වල ගැස්මක් ඇති වේ.

ආයුර්වේද මතයට අනුව,
තට්ටම් පෙරදැරි කොට පවත්නා ගෘධ්රසී වාතය පිළිවෙලින් උකුල, උරස් ප්රදේශය , පාදයේ පිට පැත්ත, කලව ප්රදේශය , දනහිස , කෙණ්ඩා ප්රදේශය සහ පාදය දක්වා ගමන් කරමින් හිරවීම්, වේදනා, අනින්නාක් බදු වේදනා ඇති කිරීම ගෘධ්රසි ලෙස හදුන්වයි .

දෝෂ තත්වය අනුව මෙහි ප්රභේද 2ක් වේ,
1.කේවල වාතජ ගෘධ්රැසී
2.වාත කඵජ ගෘධ්රැසී

ඉහතින් දැක්වූ පොදු ලක්ෂණ වලට අමතරව

වාතජ ගෘධ්රසියේදී,
පාදයේ තද ගතිය, වේදනාව, හිරි ගතිය, දණහිස් සන්ධි වල ඉදිමීම, උලකින් අනින්නාක් බඳු වේදනාව සහ වරින් වර පාදයේ වෙව්ලීම වැනි රෝග ලක්ෂණ පෙන්නුම් කරන අතර

වාත කඵ අනුබද්ධ අවස්ථාවේදී,
පාදයේ බර ගතිය, අරුචිය, බඩගිනි මඳකම, නිදිමත ගතිය යන ලක්ෂණ පෙන්නුම් කරයි.

  • මෙහිදී ඇතිවන වේදනාව රාත්රියට වැඩිවන අතර, මෙම රෝගින් සවස් කාලයේ ස්නානය කිරීම නිසා සහ සීතල කෑම වර්ග (බණ්ඩක්කා, මෑ කරල්, වම්බටු, කොස් ආදී ආහාර) වැඩිපුර ආහාරයට ගැනිමත්, රාත්රී කාලයේදී ආහාරයට ගැනීමත් නිසා වේදනාව වැඩිවේ.

ප්‍රතිකාර

  •  මෙම රෝග තත්වය නිවැරදි අභ්යන්තර ප්රතිකාර පද්ධතියක් හා බාහිර ප්රතිකාර පද්ධතියක් මගින් සුව කළ හැකිය.
  • මෙහිදී අභ්යන්තර ප්රතිකාර ලෙස කෂාය, ගුලි, කල්ක, චූර්ණ ආදී ආයුර්වේද ඖෂධ වලින් සමන්විත ප්රතිකාර පද්ධතියක් භාවිතා කරයි. බාහිර ප්රතිකාර ලෙස තෛල අභ්යංග, තැවීම, පත්තු දැමීම, තෛල පිචු, කටී වස්ති ආදිය අවස්ථානුකූලව සළකා බලා සිදු කරයි.
  • මීට අමතරව පංච කර්ම ප්රතිකාරද මෙම රෝග තත්වය සුවපත් කිරීම සදහා අවස්ථානුකූලව භාවිතා කළ හැකිය.

    නමුත්,

  • මේ රෝගය සඳහා කරනු ලබන ප්රතිකාර රෝගියාගෙන් රෝගියාට වෙනස් වේ.
  • මේ සඳහා හිතුමතේට අත්බෙහෙත් කිරීම සුදුසු නැත. වෙනත් කෙනෙකු වෙනුවෙන් වෛද්යවරයකු ලබාදුන් ඖෂධ හෝ ප්රතිකාර හිතුමතේට වෛද්ය උපදෙස්වලින් තොරව භාවිතයද කිසිසේත්ම සුදුසු නොවේ.
  • රෝගියාගෙන් රෝගියාට රෝග ලක්ෂණ මෙන්ම රෝගය පැතිර යාමේ ක්රමවේදයද වෙනස් වේ. ඇතැම් රෝගීන්ට මෙම රෝගය සඳහා කිසිදු ප්රතිකාරයක් නොකොට දින දෙක තුනකින් සුව විය හැක. එය රෝගය ඇතිවමට බලපාන හේතුව අනුව තීරණය වේ. නමුත් බොහෝවිට මෙම රෝගය සඳහා ප්රතිකාර අවශ්යම වේ.
  • ප්රතිකාර මෙන්ම ව්යායාමද ඉතා යෝග්ය වේ. මේ සඳහා විශේෂිත වූ ව්යායාම් ඇති අතර ඇතැම් ව්යායාම් මෙම රෝගීන් සඳහා යෝග්ය නොවේ. එය පිළිගත් වෛද්යවරයකුගේ අනුදැනුම සහ උපදෙස් අනුව කළ යුතුවේ. මේ සඳහා යෝග ව්යායාමද ඉතා යෝග්ය ප්රතිකාර ක්රමයක් වේ. මේ සඳහාම විශේෂිත වූ යෝග ව්යායාම් ඇත.
  • ආයුර්වේදයෙහි මේ සඳහා ප්රතිකාර පද්ධතියන් ක්රියාත්මක කෙරේ. රෝගියාගේ දෝෂ අනුව ඒ ප්රතිකාර වෛද්යවරයා විසින් තීරණය කෙරේ. බාහිරව සහ අභ්යන්තර ප්රතිකාර ක්රම අනුව මේ සඳහා ප්රතිකාර කෙරේ.
  • හිතුමතේට මේ සඳහා ආයුර්වේද තෙල් ආලේප නොකළ යුතුය. ඇතැම් තෙල් වර්ග සෑම වේදනාවකටම ගුණදායක නොවේ. මේ නිසා හිතුමතේට තෙල් නොගෑ යුතුය. ඒ සඳහා ක්රමවේදයක් ඇත. එක් එක් රෝගය අනුව තෙල් වර්ගයද වෙනස් වේ. තෙල් වර්ගවල ගුණ එකිනෙකට වෙනස් වේ.
  • මේ නිසා මෙවැනි රෝග තත්ත්වයක් ඔබට ඇත්නම් වහාම සුදුසුකම් ලත් ආයුර්වේද වෛද්යවරයකු මුණගැසෙන්න.

සුදුසු ආහාර

කාබෝහයිඩ්රේට වැඩි ප්රමාණයක් අඩංගු ආහාර, පලා වර්ග, තන්තු සහිත ආහාර. විශේෂයෙන් ජීර්ණයට පහසු ආහාර ගැනීම වැදගත් වේ.

සුදුසු විහරණ

මෙම රෝග තත්වය සඳහා ආහාර වලට වඩා ඉතාමත් වැදගත් වනුයේ චර්යා පැවැත්ම හා නිවැරදි ඉරියව් භාවිතයයි.

  • මිනිත්තු 30 කට වරක්වත් ඉරියව් වෙනස් කළ යුතුය.
  • පුටුවක වාඩිවී සිටින විට කොඳු ඇට පෙළ සෘජුව සිටින සේ පවත්වා ගන්න.
  • බිම ඇති දෙයක් ගැනීමේ දී හෝ බරක් එසවීමේ දී දණහිස් නවා පහත් වී බර ඔසවන්න. කොන්ද නවා බර එසවීමෙන් වළකින්න.
  • ගැස්සෙන වාහන භාවිතය අඩුකරන්න ( යතුරු පැදි, ත්‍රී රෝද රථ, බස්‍ රථ වල රෝදය අසල).
  • නිදාගැනීමේදී උඩුබැලි අතට නිදාගෙන පාද ඔසවා දණහිස යටින් කොට්ටයක් තැබිය යුතුය.
  • නිදාගැනීමට තුනී මෙට්ටයක්, තුනී කොට්ටයක් භාවිතා කරන්න.
  • සවස් කාලයේ ස්නානය කිරීමෙන් වළකින්න.


සටහන –
අන්තර්ජාලය හා පොතපත ඇසුරිනි

Dr. Ruwan Bandara

Ayurvedic Medical Practitioner on oDoc

SLAMC 14990

Ayurveda Community Medical Officer – Central province