oDoc

Shares

ඇත්තටම එන්නත් සාර්ථකද?

කෙටි පිළිතුර: ‘ඔවු’. පහුගිය මාස 4 ක කාලයේදී, ප්‍රධාන සමාගම් 3 ප්‍රකාශයට පත්කරපු, 3 වන අදියරේ අධ්‍යයන වල දත්ත වලින් ඒ බව පැහැදිලි වෙනවා.

දීර්ඝ පිළිතුර: Moderna සහ Pfizer/BioNtech එන්නත් වල සාර්ථකත්වය ගොඩක් දුරට සමානයි. AstraZeneca එන්නතේ සාර්ථකත්වය ඊට සාපේක්ෂව අඩු වුණත් රටකට වඩාත් ගැළපෙන එන්නත තීරණය කිරීමේදී මිල, ගබඩා කිරීමේ හැකියාව සහ එන්නත ලබාගැනීමේ හැකියාව වගේ සාධක සැලකිල්ලට ගත යුතු වෙනවා.

Pfizer/BioNtech

මෙය මාත්‍රා දෙකකින් ලබාදෙන එන්නතක්. පළමු මාත්‍රාව ලබා දී දින 28 කට පසු දෙවැනි මාත්‍රාව ලබාදිය යුතුයි. දෙවැනි මාත්‍රාව ලබා දී දින 7 ක් ඇතුළත මෙය 95% ක සාර්ථකත්වයක් පෙන්නුම් කරන බව අධ්‍යයන මගින් පෙනී ගොස් තිබෙනවා. වයස අවුරුදු 65 ට වැඩි වැඩිහිටියන් අතරත් එය 94% ක් තරම් විශිෂ්ට සාර්ථකත්වයක් පෙන්නුම් කර තිබීම විශේෂයෙන් සඳහන් කළ යුතුයි. එන්නත සම්බන්ධ පරීක්ෂණ වලදී ආසාදිතයන් 164 මට්ටමේදී අවසන් විශ්ලේෂණය සිදුකිරීමට නියමිතව තිබුණත් එම සීමාව ඉක්මවා ආසාදිතයන් සංඛ්‍යාව 170 ට ළඟා වුණා (COVID-19 රෝගය පුළුල් ලෙස ව්‍යාප්ත වී තිබීම නිසා). එනම් මෙම අධ්‍යයනයට සහභාගී වූවන් අතරින් 170 දෙනෙකුට COVID-19 රෝගය රෝගය ආසාදනය වී තිබුණා. ඔවුන් පිළිබඳව කරන ලද පසු-අධ්‍යයනයේදී අනාවරණය වුණේ අධ්‍යයනය සඳහා එන්නත වෙනුවට වෙනත් යමක් (Placebo) ලබාදුන් පාලක කණ්ඩායමේ 162 දෙනෙකුට රෝගය ආසාදනය වී තිබුණු අතර, සත්‍ය එන්නත ලබාදුන් කණ්ඩායමෙන් රෝගය ආසාදනය වී තිබුණේ 8 දෙනෙකුට පමණක් බවයි.

ඇමරිකාවේ ආහාර හා ඖෂධ පාලන අධිකාරිය මගින් සහ යුරෝපා සංගමය මගින් හදිසි භාවිතය සඳහා අනුමත කර ඇති Pfizer/BioNtech එන්නත ලොව පුරා රටවල් රැසක පසුගිය දෙසැම්බර් මාසයේ සිටම භාවිතා වෙනවා. mRNA එන්නත් සංයෝගයේ සංවේදීත්වය නිසා එන්නතේ කාර්යක්ෂමතාව විනාශ නොවී පවත්වා ගැනීමට නම් එය සෙල්සියස් අංශක -70 මට්ටමේ පවත්වාගත යුතුයි. මේ නිසා, එන්නත් තොග ප්‍රවාහනය කිරීමේදී ඒවාට හානි නොවී පවත්වා ගැනීම සඳහා මේ වනවිට ලොව පුරා අධිශීත සැපයුම් දාමයන් නිර්මාණය කෙරෙමින් පවතිනවා. මේ ආකාරයට අධිශීත සැපයුම් හා ගබඩා පහසුකම් ස්ථාපිත කිරීමට යන වියදම සහ, විවෘත කළ පසු එන්නත් වල ගුණාත්මක භාවයට හානි නොවීම සඳහා අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග ආදිය දෙස බලන විට, ශ්‍රී ලංකාව වැනි දකුණු ආසියාතික රටවල මෙම එන්නත භාවිතා කිරීමට දුෂ්කර වන්නට පුළුවන්.

Moderna

මෙයත් මාත්‍රා දෙකකින් ලබාදිය යුතු එන්නතක් වන අතර, පළමු මාත්‍රාවෙන් දින 28 කට පසු දෙවැනි මාත්‍රාව ලබාදිය යුතුයි. දෙවැනි මාත්‍රාව ලබාදීමෙන් දින 7 කට පසු මෙහි සාර්ථකත්වය 94.1% මට්ටමේ පවතින බව අධ්‍යයන මගින් පෙනීගොස් තිබෙනවා. ආසාදිතයන් 196 මට්ටමේදී අධ්‍යයනයේ අවසන් විශ්ලේෂණය සිදුකෙරුණු අතර එන්නත වෙනුවට වෙනත් යමක් (Placebo) ලබාදුන් පාලක කණ්ඩායමෙන් ආසාදිතයන් 185 ක් සහ සත්‍ය එන්නත ලබාදුන් කණ්ඩායමෙන් ආසාදිතයන් 11 ක් වාර්තා වුණා. මෙහි විශේෂත්වය වන්නේ මෙම අධ්‍යයනයේදී බරපතළ COVID-19 රෝගීන් 30 දෙනෙකුද වාර්තා වීමයි. ඔවුන් සියලු දෙනාම වාර්තා වී තිබුණේ Placebo කණ්ඩායමෙන්. ඒ අනුව මෙම එන්නත COVID-19 රෝගය නිසා බරපතළ ලෙස රෝගාතුර වීමේ අවදානම අඩු කිරීම සම්බන්ධයෙන් වඩාත් සාර්ථක බව පෙනී ගියා.

මෙම එන්නත සෙල්සියස් අංශක -20, එනම් සාමාන්‍ය ශීතකරණ උෂ්ණත්ව මට්ටමේ මාස 6 ක් දක්වා ගබඩා කර තබන්නට පුළුවන්. මේ හේතුවෙන් Pfizer/BioNtech එන්නතේදී මෙන් කාර්ය සම්පාදන කටයුතු වලට විශාල ආයෝජනයන් සිදුකළ යුතු නැති නිසා එය නිවර්තන රටවල භාවිතයට වඩාත් සුදුසුයි. mRNA එන්නත් තවමත් අපට අලුත් දෙයක් නිසා, ඒවා අපතේ යාමේ අවදානම වළක්වා ගැනීම සඳහා එන්නත් කිරීමේ ක්‍රියාවලියේදී නොපමාව හා කාර්යක්ෂමව කටයුතු කළ යුතු වෙනවා. එම නිසා මෙම එන්නත ලබාදීම සඳහා සෞඛ්‍ය සේවකයන්ට විශේෂ පුහුණුවක් ලබාදීමට සිදුවන්නට පුළුවන්.

AstraZeneca

මෙම එන්නත මුලින් සැලසුම් කර තිබුණේ සමාන මාත්‍රා දෙකකින් ලබාදෙන්නටයි. එහෙත් අධ්‍යයන අතරතුරදී සිදුවූ අත්වැරදීමක් නිසා, මුලින් මාත්‍රා භාගයක් ලබාදී දෙවනුව සම්පූර්ණ මාත්‍රාව ලබාදීම මගින්, මුලින් පෙන්නුම් කළ 63% සාර්ථකත්වයට සාපේක්ෂව 90% ක සාර්ථකත්වයක් අත්පත් කරගත හැකි බව පෙනී ගියා. කෙසේ වුවත් මේ විශේෂ මාත්‍රා ක්‍රමය තවමත් ලබා දී ඇත්තේ 2,700 දෙනෙකුට පමණක් නිසා මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදුකළ යුතුයි. ඒ අනුව දැනට ඇති mRNA එන්නත් වර්ග දෙකට සාපේක්ෂව මෙම එන්නත තවමත් අඩු සාර්ථකත්වයක් ඇති එන්නතක් ලෙස සැලකෙනවා. ප්‍රතිඵල පදනම් වී ඇත්තේ ආසාදිතයන් 131 මට්ටම අනුවයි. ආසාදිතයන් 30 ක් පාලිත කණ්ඩායමෙන් සහ ආසාදිතයන් 11 ක් එන්නත් කණ්ඩායමෙන් වාර්තා වී තිබුණා.

බ්‍රිතාන්‍ය පවුම් 3 කට ලබාදෙන AstraZeneca එන්නත දැනට ඇති එන්නත් අතර මිලෙන් අඩුම එන්නතයි. එය අනෙකුත් බොහෝ එන්නත් වර්ග මෙන්ම කාමර උෂ්ණත්වයේ ගබඩා කළ හැකි නිසා සෞඛ්‍ය සේවකයන්ට වඩාත් පහසුවෙන් එය භාවිතා කරන්නට පුළුවන්.

සමහර විට, මේ එන්නත් අතරින් ඔබ ලබාගත යුත්තේ කුමන එන්නතද කියා ඔබ කල්පනා කරනවා ඇති. කෙසේ වුවත්, දැනට අපි COVID-19 රෝගය සම්බන්ධයෙන් දන්නා කරුණු අනුව (එය පැතිරෙන වේගය, ශරීරයේ ශ්වසන පද්ධතියට හා හර්ද නාල පද්ධතියට එය ඇතිකරන බලපෑම, රෝගය සුවවූ පසුවත් මාස 6 ක පමණක් කාලයක් ඇතැම් රෝගීන් තුළ රෝග ලක්ෂණ පැවතීම සහ මරණ අනුපාතය ආදිය) කුමන එන්නත වුණත් ඒ සෑම එන්නතම ‘හොඳ එන්නතක්’ බවට සැකයක් නැහැ.

Shares

Similar Articles...

Channel a doctor in just three taps

දැන්ම oDoc ඩවුන්ලෝඩ් කරන්න

Back to oDoc Blog

Back to oDoc Blog

සිංහල
0
    0
    Your Cart
    Your cart is empty

    නවතම සෞඛ්‍යය උපදෙස් එසැණින් ඔබ වෙත ලබා ගන්න